Kolama as a therapy

කෝලම් නාටකය වූ කලි මනෝ චිකිත්සාවකි

ලක්දිව නාට්‍ය කලාව පිළිබඳ කරුණු විශ්ලේෂණය කරන පර්යේෂකයෝ ලක්දිව ආගමික පුදපූජා සහ යාග හෝම ආදිය පාදක කොටගෙන එහි ප්රභවය සිදු වූ බව අදහති. මේ උපකල්පනය තහවුරු කිරීම උදෙසා ශාන්ති කර්මයන්හි ඇති නාට්‍යමය පෙළපාලි සහ නාට්‍යමය ලක්ෂණ ඇතුළත් ආලවක දමන වැනි ඇතැම් ධර්ම දේශනා කෙරෙහි අවධානය යොමු කරනු දැකිය හැකි ය. විශ්ව නාට්‍ය (ග්‍රීක සහ සංස්කෘත නාට්‍ය) කලාවන්හි ආරම්භය පිළිබඳ සලකා බැලීමේ දී භාවිත වන මේ උපකල්පනය ලක්දිව නාට්‍ය කලාවේ උපත සෙවීම සඳහා භාවිතයට ගැනීම තර්කානුකූල වන්නේ නැත. අපගේ මේ අධ්‍යයනයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු තත් විශ්වාසයෙහි එල්බගෙන එය තහවුරු කිරීමට දරන උත්සාහයක් නො වන බව සැලකිය යුතු. එසේ වුව ද දියුණු නාට්‍ය කලාවක් ඇති වීමෙන් අනතුරු ව එම නාට්‍ය කලාව තමන්ගේ අවශ්‍යතා උදෙසා භාවිත කිරීමට මිනිසා පෙලඹුණු ආකාරය පිළිබඳ හැඳින්වීමක් මෙයින් ඉදිරිපත් කෙරේ. නූතන අධිතාක්ෂණික යුගයේ නාට්‍ය ආනන්දයට පමණක් සීමා වී නැත. චිකිත්සාවක් ලෙසින් ද එය 1970න් ඇරඹි දශකයේ පටන් යුරෝපයේ සහ ඇමරිකාවේ භාවිතයට ගෙන ඇති අතර නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා පවා ආරම්භ කර ඇත.

උත්පත්ති කථා

කෝලම් නාටකය පිළිබඳ මුලින් ම පර්යේෂණයෙහි යෙදුණු ඇතැම් පර්යේෂකයන්ගේ පිළිගැනීම වන්නේ එය ගර්භ ශාන්තියක් ලෙසින් ප්‍රභවය වූ රංග කලාවක් බව යි. කෝලම් නාටකය පිළිබඳ මේ නිගමනයට අවතීර්ණ වීම සඳහා බෙහෙවින් බලපාන ලද ප්‍රකට සාධකයක් වන්නේ එම නාට්‍ය සමග පවත්නා උත්පත්ති කථාව යි. එම උත්පත්ති කථාවෙන් කියැවෙන්නේ කෝලම් රංගනය ආරම්භ වූයේ මහා සම්මත රජතුමාගේ බිසවට ඇති වූ දොළදුකක් සංසිඳවීම සඳහා බව යි. මහා සම්මත රජතුමා තම බිසවට ඇති වූ දොළදුක සන්සිඳවීම උදෙසා තම රාජ්‍යයෙහි සිටි සියලූ ම දක්ෂ රංගන ශිල්පීන් කැඳවා රංගන ඉදිරිපත් කළ ද ඇයගේ ආශාව නොසන්සිඳිණි. බිසව ඉමහත් දුකට පත් ව ඇති බව දුටු ශක්‍ර දෙවියෝ ඇය පිළිබඳ කරුණාවෙන් සියලු කර්මාන්තයනට දක්ෂ වූ විශ්වකර්ම දෙවියන් කැඳවා බිසවට ඇති වූ දොළදුක සංසිඳවීම සඳහා කෝලම් මුහුණු නිර්මාණය කර, කෝලම් නටන ආකාරය පිළිබඳ උපදෙස් ද සමගින් රජතුමාගේ උයනේ තබන ලෙස අණ කළහ. සක් දේවියන්ගේ අණ පරිදි විශ්වකර්ම දෙවියෝ කෝලම් මුහුණු නිර්මාණය කර ඒ සමග කෝලම් නටන ආකාරය සඳහන් නාට්‍ය උපදෙස් රජතුමාගේ මඟුල් උයනේ තැබූහ. පසු දින උයනට ගිය උයන්පල්ලා මෙය දැක රජතුමාට දැන්වීමෙන් පසු රජතුමා එහි වූ උපදෙස් අනුව දක්ෂ ශිල්පීන් ලවා මුල් ම කෝලම්නාටකය රඟදක්වා බිසවගේ දොළදුක සන්සිඳ වූ බව පැවසේ. බිසවගේ දොළ සංසිඳී සුවපත් වීමෙන් පසු එදා සිට කෝලම් සම්ප්‍රදාය ඇරඹුණු බව එම උත්පත්ති කථාවෙන් කියැ වේ.

මෙයට අමතර ව මේ නාටකයෙහි උත්පත්ති කථාව ඇතැම් කෝලම් පිටපත්හි වෙනස් අයුරකින් දක්නට ඇත. එක් පිටපතක එය භාරතයේ පිලියත් නම් වූ රජතුමකුගේ බිසවකට ඇති වූ දොළ දුකක් සංසිඳවීම සඳහා රංගනය කළ බව කියැ වේ. කෝලම් පිළිබඳ ව අධ්‍යයනයක යෙදුණු පළමු විදේශික ලේඛකයා වූ ජෝන් කැලවේ තම කෝලම් පරිවර්තනයේ සඳහන් කර ඇති ආකාරයට පිලියත් රජතුමාගේ බිසවට කෝලම් නැරඹීමට දොළක් ඇති වූ අතර රජු තම අමාත්‍ය මණ්ඩලය කැඳවා මෙයට පිළියම් කිරීමට උපදෙස් පැතූ නමුත් ඊට පිළිතුරු දීමට ඔවුහු අසමත් වෙති. රජු මෙයට උරණ ව ආහාර ගැනීම ද වර්ජනය කර යහන් ගැබට ගොස් උපවාසයෙහි යෙදුණේ ය. රජතුමාගේ සේසතට අධිගෘහිත දේවතාදුව මෙයින් ශෝකයට පත් ව සක් දෙවිඳුන් හමු වී මේ සිද්ධිය පවසා රජතුමාත් දේවියත් දුකෙන් මුදවා ගන්නා ලෙස ඉල්ලා සිටියා ය. මෙහි දී පූර්වෝක්ත කථා පුවතෙහි සඳහන් ආකාරයට විශ්වකර්ම දෙවියන් ලවා වෙස් මුහුණු හඳුන්වා දීමත් ඉන් අනතුරු ව කෝලම් සම්භවය වූ බවත් විස්තර කෙරේ.

තවත් පිටපතක එය සඳහන් කරන්නේ ලක්දිව වාහ නම් වූ රජතුමෙකුගේ බිසවගේ දොළදුකක් සංසිඳ වීම පිණිස ඇරඹි බව ය.

සිරිලක පුර පව ර
බලයෙන් වාහ නරව ර
දස දැහැමෙන් නිත ර
සොඳින් රජසිරි විඳැ ඉඳින ව ර

එ රජුගෙ මන නඳ න
අගබිසව පින් බලයෙ න
දරු උපතක් ලැබු න
වීය දොළදුක් සිතේ දින දි න

වදහළ බස් පිළිගෙන රජු එදි නේ
සදා කැපූ කෝලම් නොව පම නේ
නඳා සිතින් රඟ දැක්වූ සඳි නේ
එදා බිසව දොළ දුක සන්සිඳු නේ

මේ කතා පුවත් තුනෙහි ම දැක්වෙන්නේ කාන්තාවක අරභයා ගර්භිණී අවස්ථාවේ ඇති වන ස්වාභාවික අවශ්‍යතාවක් සැපිරීම සඳහා කෝලම ඇරඹි බව යි. මේ පිටපත්හි කියැවෙන රජවරුන් තිදෙනා වෙනස් වූවත් බිසෝවරුන්ගේ අවශ්‍යතා වෙනස් නො වී පැවතීම මේ නාටකය මානව ප්‍රජනනය අරභයා පැවැත්වීමට නිර්මාණය වූවක් සේ සැලකීමට හේතු වේ.

එසේ වුව ද බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයෙහි වන කෝලම් අත්පිටපතෙහි දොළදුක පිළිබඳ පුවත සඳහන් වන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ මහා සම්මත රජතුමාගේ සතුට සඳහා කෝලම් රංගනය පැවැත්වූ වගකි.

ගර්භශාන්තිය

කෝලම පිළිබඳ අධ්‍යයනයක යෙදුණු විද්වතකු වූ ප්‍රාග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඕ. පර්ටෝල්ඩ්ගේ පිළිගැනීම අනුව කෝලම් රංගනය ගර්භ ශාන්තියකි. ඔහු මේ නිගමනයට එලඹ ඇත්තේ කෝලමෙහි ඇතුළත් උත්පත්ති කථාව පදනම් කරගෙන ය. තම මතය තහවුරු කිරීම සඳහා ඔහු බඩදරු කෝලම, පංචනාරි කෝලම ආදී කෝලම් නිදසුන් ලෙසින් දක්වයි. තත් කෝලම් නාට්‍ය සශ්රීකත්වය පිළිබඳ වූ අභිචාර කර්මවල ශේෂ මාත්‍ර ලෙසින් සලකා එම නිගමනයට ඔහු එලඹ ඇත. පර්ටෝල්ඩ් විසින් සඳහන් කළ ආකාරයට කෝලම් නාටකයෙහි අභිචාරාර්ථයක් වී දැයි සලකා බැලීම වැදගත් ය.

පර්ටෝල්ඩ්ගේ මේ නිගමනය සාවද්‍ය බව සිංහල සාම්ප්‍රදායික නාට්‍ය පිළිබඳ පුරෝගාමි පර්යේෂකයකු වූ මහාචාර්ය සරච්චන්ද්රාග් පිළිගැනීමයි. පර්ටෝල්ඩ් විසින් ඉදිරිපත් කරන ලද සාධක අනුව කෝලම් රැඟුමෙහි අභිප්රාය ගර්භ අභිචාර විධියක් ලෙසින් නිගමනය කිරීම යුක්තියුක්ත නො වන බව පවසන ඔහු ගර්භිණීන් සඳහා කරන වෙන ම ශාන්ති කර්මයක් වූ රට යකුම හෙවත් රිද්දි යාගය ඇති බැවින් තවත් ගර්භ ශාන්තියක් ඇති විය නොහැකි බව පවසයි. තව ද එහි ස්ත්රියක බිළිඳෙකු නළවමින් සබයට එන ජවනිකාවක් ඇති බව ද ගැබ්ගත් ලඳුන් ලෙස වෙස් පෑම වෙනත් ශාන්ති කර්මවල ඇතැයි ද එබැවින් බඩදරු කෝලම මේ ශාන්තිකර්ම බලා සකස් කරගන්නට ඇති රංගනයක් බව ද සඳහන් කරයි.
සරච්චන්ද්ර කෝලම් නාටකය හඳුන්වා දී ඇත්තේ අභිචාරාර්ථයෙන් තොර වූ විනෝදාර්ථය සඳහා භාවිත වූවක් ලෙසිනි. මුල දී කිසියම් ශාන්ති කර්මයක යොදා තිබිය දී එම නිරූපණයෙහි අභිචාරාර්ථයක් තිබුණත් කෝලම් නාටකයට වැද්දගත් විට ඒ අර්ථය නැති වී ගොස් විනෝදාර්ථය පමණක් ශේෂ වූයේ යැයි ඔහු නිගමනය කරයි. එසේ ම ඇත්ත වසයෙන් නම් කෝලම් නාටකයට අයත් පාත්රයන් හා ජවනිකා කීපයක් විවිධ ශාන්ති කර්මවලින් උපුටාගෙන විනෝදාර්ථය පිණිස සකස් කර ගන්නා ලද ඒවා බව පෙනේ යැයි ඔහු තහවුරු ලෙස ම කෝලම ගර්භ ශාන්තියක් නො වේ යැයි දක්වා ඇත.

තව ද කෝලම් නාටකයේ ඇති උත්පත්ති කථාව පිළිබඳ ව ද ඔහු දක්වන්නේ එවැනි ම අදහසකි. ඉහත නිගමනයන්ට අනුව කෝලම් උත්පත්ති කථාව ඇති වීම ද අනුකරණාත්මක ව සිදු ව ඇතැයි ඔහු නිගමනය කරයි:

“කිසියම් යාගයක ප්රභවය පිළිබඳ කථාව මුල දී විස්තර කිරීම ඒ යාගය පැවැත්විය යුතු පිළිවෙළෙහි එක් අංගයකි. නැතහොත් එම යාග කර්මයේ සංදර්භයේ අංගයක් ලෙස හැඳින්විය හැකි ය. යාග කර්මයක් පැවැත්වීමට පෙර එහි උපත විස්තර කළ යුතු ය. කෝලම් නැටීමේ දීත් මෙසේ උපත පිළිබඳ කථාව කීම එම සන්දර්භය හෙවත් කාර්ය පිළිවෙළ රැකගැනීම සඳහා අවශ්‍ය වූවක් යයි සිතෙන්නට ඇත. කිසියම් බිසෝ කෙනෙකුගේ දොළ දුකක් සංසිඳවීමට එය කෙරිණැයි කීම පහසුවෙන් සිතා ගත හැකි උපක්‍රමයක් වූවා යයි හැ‍ෙඟ්‍. එම කථාව සකස් කර ගන්නට ඇත්තේ මේ අභිප්‍රායෙන් යයි සිතනු විනා එහි වෙන අර්ථයක් ඇතැයි සිතීම අනවශ්‍ය බව පෙනේ.“

මෙහි දී සරත්චන්ද්‍ර උත්පත්ති කථාව අනුකරණයක් විනා එහි වැදගත්කමක් නැති බව පවසතත් ශාන්ති කර්මයක ඇතුළත් උත්පත්ති කථාවෙන් එම අභිචාර විධියෙහි පරමාර්ථය ගැබ් ව ඇති බව අමතක කළ යුතු නො වේ. උත්පත්ති කථාව සන්දර්භයේ අංගයක් ලෙසින් ම පමණක් භාවිත නො වුණු අතර ඉන් තත් ශාන්තිකර්මයේ විෂය ක්ෂේත්‍රය හඳුන්වා දෙනු පමණක් නො ව තත් අභිචාරය චිරාත් කාලයක් තිස්සේ මානවයාට සෙත් ගෙන දෙමින් පැවති බව ද අඟවයි. එයින් රෝගියාගේ මනසෙහි තත් ශාන්ති කර්මය පිළිබඳ ව විශ්වාසයක් ඇති වන අතර ඒ මගින් මානසික වශයෙන් රෝගියාට ඇති වන බලපෑම ඉමහත් ය. තර්කානුකූල ව බලතහොත් සරච්චන්ද්‍ර පවසන ආකාරයකට ශාන්ති කර්මයක උත්පත්ති කථාව සන්දර්භීය අවශ්‍යතාවක් ලෙසින් අනිවාර්ය වූයේ නම් කෝලමෙහි ද උත්පත්තිකථාව යොදාගත්තේ එහි අභිචාරාර්ථයක් වූ බැවින් යයි කෙනෙකුට තර්ක කළහැකි වේ.

එසේ ම ගර්භ සංරක්ෂණය සඳහා භාවිත යාතු කර්මයක් වූ රිද්දි යාගය පවත්නා බැවින් තවත් ගර්භ ශාන්ති කර්මයක් ඇති විය නොහැකි බවට ඔහු කරන තර්කය ද අර්ථ විරහිත වූවකි. මක්නිසා ද යත් එක ම අවශ්‍යතාව උදෙසා විවිධ අභිචාර විධි ඇති විය හැකි බැවිනි.

පර්ටෝල්ඩ් බඩදරුකෝලම ද පදනම් කරගෙන කෝලම ගර්භ ශාන්තියක් ලෙස හැඳින්වුව ද සරච්චන්ද්‍ර එය ප්‍රතික්ෂේප කරන්නේ බඩදරු කෝලම මගින් ගර්භ ශාන්තියක අවශ්‍යතා ව නොසැපිරෙන බව යි. නොයෙකුත් ශාන්ති කර්මයන්හි මෙවැනි අංගයන් ඇතැයි පවසන ඔහු එම නිගමනයට අවතීර්ණ වී ඇත්තේ තම අවධානය බඩදරු කෝලමෙහි දරු නැළවිල්ලට පමණක් සීමා කරගනිමින් බව පෙනේ. ඒ මගින් එය අභිචාරාර්ථයෙන් තොර බැව් සඳහන් කිරීම තර්කානුකූල නො වේ.

බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාල අත්පිටපතෙහි බඩදරු කෝලම නිරුපණය සඳහා පද්‍ය‍ විසිහතක් භාවිත වන්නේ ය. එම පද්‍ය විසිහතෙන් තත් කෝලම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි ය. සරච්චන්ද්‍ර එම පද්‍ය පන්තිය සාරාංශ කරන්නේ ‘බඩදරු ස්ත්‍රියකි. ඈ ස්වාමියා සමග පිවිසේ. මෙහි කිසියම් කථාවක් නිරූපණය වන්නා සේ ය. එහෙත් පැහැදිලි නැත. රකුසෙකු විසින් ඇය මරනු ලැබේ. ස්ත්‍රිය අඬා වැලපේ යනුවෙනි. තත් කෝලම් පිටපතේ වූ බඩදරු කතාව නියම ආකාරයෙන් ග්‍රහණය කිරීමට සරච්චන්ද්‍ර අපොහොසත් වී ඇති අයුරු ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඔහුගේ ප්‍රකාශයට අනුව රකුසකු විසින් මරණයට පත් කරනු ලැබීමෙන් පසුව එම ස්ත්‍රිය අඬා වැළපේ(! )යනුවෙනි

බඩදරු කෝලමෙන් නිරූපණය වන්නේ දරුවන් නොමැති ව සිටි ස්ත්‍රියක් කෝවිලක පේවී දරුවකු පිළිසිඳුනෙන් දරු උපත සඳහා තම දෙමව්පියන් වෙත හිමියා සමග යන විට කෝවිලට අරක්ගත් රකුසා එම රූමත් කාන්තාව කෙරෙහි ආලයෙන් ඇයගේ හිමියා මරා එම බඩදරු ලඳ තමන් සතු කරගැනීම පිළිබඳ කථා පුවතකි.

කෝවිල පේ වෙමි න
දරු ගැබ කුසේ දරමි න
දෙවනු හිමි සමගි න
ගමට මග බැස යන්ඩ යන දි න

කෝවිල වැදි රකුසු සො ඳ
දකිමින් රුසිරු ලිය සො ඳ
සමග එන හිමි ස ඳ
මරා අරගති එබඩදරු ල ඳ

දරු ප්‍රසූතිය සඳහා තම දෙමව්පියන් වෙත යන බඩදරු ළඳ තම හිමියා අමතමින් ඇය වෙත පැමිණ ඇති කිසියම් අපල උපද්රවයක් උදෙසා (ඇතැම් විට යකුගේ බලපෑම විය හැකි ය.) දරු සුරතල් දකින සිත ඇතොත් තමන් වෙත පැමිණි ගැහැට දුරුවෙනු සඳහා යකුන් නටවන්නැ යි ඇය ඉල්ලා සිටින්නී ය. ඉන් අනතුරු ව සලඹ දෙක ගනිමින් උඩැක්කිය උරෙහි ලාගෙන ඔහොරිය පෙරවමින් පත්තිනි කෙනෙක් සබයට පැමිණෙන අතර එහි සබඳතා ව කුමක් දැයි අපැහැදිලි ය. තම බිරිඳගේ අයැදුම පරිදි හිමියා යකැදුරෙකු වෙත ගොස් යකුන් නැටවීමට ආරාධනා කළ ද යකැදුරා මුදල් ඉල්ලා සිටි බැවින් එම කාර්ය කරගත නොහැකි වන්නේ ඔහු සතු ව මුදල් නො වූ බැවිනි.

ය ක දුරු රාලට කිව්වයි මම ගොසි න්
දු ක නොම බලා මිල ඉල්ලිය මාගෙ න්
සැ ක හැරලා දෙන්නට නැති සෙවි න්
ම ක් කරලාවත් දෙමි ගමදි න න්

මේ අතරතුර බිරිඳට දරු ප්‍රසූතිය ආසන්න වීම නිසා වින්නඹුවක් කැඳවා ගෙන එන්නට ඔහුට සිදු වෙයි. වින්නඹුව වෙත ගොස් ඇය පාමුල වඳිමින් තම බිරිඳට උපකාර වන ලෙස අයදියි. ඒ සඳහා වින්නඹුවට තෑගි දීමට ද ඔහු පොරොන්දු වෙයි. හැට්ටේ කරලා ගෙන සුරතට අඩටිය ද ගනිමින් මහලු වින්නඹුව විගසින් අවුත් බඩදැරි ඇත්තියට ප්‍රසූතිය සඳහා උදව් වන්නී ය. ඉන් අනතුරු ව තත් ස්ත්‍රිය වින්නඹුවට මිල ගෙවීම සඳහා දරුවා නළවමින් සබයෙන් පඬුරු යදියි:

එදා සිටම වඳට ඉ ඳේ
පුදා ප`ඩුරු යකුට ය දේ
වදා ග`ඩ කරපු ව දේ
වදා ගතිමි දරු බිලි ඳේ

වින්නඹුවන් අලෙයිය ටා
නැත කිසියන් දෙයක් ම ටා
මේ සිටිනා මහතුහ ටා
වැඳ මිල අරගන් අත ටා

මේ සිද්ධියෙන් පසු ස්ත්‍රිය විසින් ගායනය කරන පද්‍ය මගින් කියැවෙන්නේ ස්වාමිපුරුෂයා යකු අතින් මරණයට පත් වූ බවයි.

දු න් දා සිට හිමි සමගි න්
උ න් නෙමු අපි සන්තොසයෙ න්
ම න් බැසගිය හිමි සමගි න්
ව න න්තරෙදි යකු මරමි න්

පින් ව ත් මගෙ හිමිත් ම රා
වෙන්ව ත් උනි අද නොහැ රා
දන්නෙ ත් හදවත නොහැ රා
ඉන්ඩ ත් බැරි විය මෙව රා

මේ කථා පුවත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ වෙනත් ශාන්ති කර්ම අනුකරණයෙන් බඩදරු ඇත්තියක් නැටවීමක් පමණ නො ව ඉන් වැඩිමනත් කථා වස්තුවක් නිරූපණය කිරීම කෝලම් නාටකයේ පරමාර්ථය වූ බවයි. විවාහ වූ දා පටන් වඳ ව සිට දරුවෙකු ලබාගැනීම සඳහා ඇය වද වින්දා ය. යකුට ප`ඩුරු පුදා ඇය දරුවකු ලැබූ බව කීමෙන් පැහැදිලි වන්නේ මේ නාට්‍යයෙන් ප්‍රජනනයට සම්බන්ධ යමක් නිරූපණය වන බවයි. එබැවින් සරච්චන්ද්‍ර විසින් දක්වන ආකාරයට නො ව බඩදරු කෝලම හා ගර්භ ශාන්තිය අතර සම්බන්ධයකට තුඩු දෙන කරුණු තිබෙන බව පැහැදිලි ය.

ශෘංගාරාත්මක කථා ප්‍රවෘත්ති

කෝලමෙහි ඇතුළත් මේ කථාපුවත මෙන් ම ඊට අදාළ වෙනත් කථා ප්‍රවෘත්ති විග්‍රහ කර බැලීමෙන් මේ නාටකය මනෝ චිකිත්සාවක් ලෙසින් අතීතයේ දී භාවිත වන්නට ඇතැයි නිගමනය කළ හැකි ය. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ලිංගික ජීවිතය පිළිබඳ වූ වටපිටාව තරමක් සංකීර්ණ වූවක් බව පෙනේ. සමාජ ආර්ථික ව්‍යුහයේ වූ ඇතැම් නොවැළැක්විය හැකි හේතු සාධක නිසා සිංහල ගැමියාගේ ලිංගික ජීවිතය වර්තමානයේ මෙන් සරල වූවක් නො වේ. රාත්‍රි කාලයේ හේනේ පැලේ කල් ගෙවන ගොවියාගේ ලිංගික ක්‍රියාකාරකම් දිවා කාලයට සීමා වීමෙන් සම්භෝගය පිළිබඳ ව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම ගැටලූ ඇති වීමේ ඉඩකඩ තිබිණි. එබැවින් ලිංගික කුසීතතාව ඇති වීමේ හේතු පැරණි සිංහල සමාජයේ ප්‍රකට ව පැවති බව අතීතයේ වූ සමාජ රටාව සලකා බැලිමෙන් පැහැදිලි ව පෙනි යයි. ඇතැම් විටෙක එහි රහස්ය භාවය අවම වීමත් ලිංගික කුසිතතාවට හේතුවන්නට අවකාශ සැලසී ය. එකගෙයි කන්නවුන් ලිංගික කාර්යයෙහි යෙදෙන අවස්ථවන්හි දී සංකේතයක් ලෙසින් තමන්ගේ අමුඩ ලේන්සුව දොර මත දමා තිබූ බව පැවසේ. රාත්‍රියෙහි පැල් ලැගි ගොවියා දිවා කාලයේ දී තම ලිංගික කටයුතු බාධාවකින් තොර ව ගෙන යාම සඳහා කුලුපේ කිරීමෙහි යෙදුණේ ය. කුලු පේ කිරීම නම් සම්භෝගයේ යෙදෙන අවස්ථාව බැහැරියන්ට ඇන්ගවීම සඳහා පිටතට පෙනෙන ලෙසින් දොර අබියස කුල්ලක් හේත්තු කර තැබීම යි. තත්ත්වය මෙසේ වූයේ නම් පැරණි සිංහල සමාජයේ ලිංගික කුසිතාවක් ඇති වීමට බෙහෙවින් ඉඩකඩ තිබු බව පැහැදිලි ය. එවැනි වාතාවරණයක දී ලිංගික හැඟීම් උත්තේජනය කිරීමේ උපාය මාර්ගයක් ලෙසින් මේ නාටකය ප්‍රයෝජනයට ගත් බව පැහැදිලි ය.

කෝලම් නාට්‍යාවලියෙහි නාට්‍ය කථා ප්‍රවෘත්ති වැඩි ගණනකින් නිරූපණය වන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පිළිබඳ ව ය. එම සම්බන්ධතා වැඩි ප්‍රමාණයක් කාය සංසර්ගය සපුරා ගැනීම මුල් වූ ඒවා ලෙසින් හැඳින්විය හැකි ය ඇතැම් විටක අන් සතු අඹුවක උදුරා ගැනීමට දරන උත්සාහයකි. එසේ නො වේ නම් තම කාර්ය සපුරා ගැනීම උදෙසා ලිංගික එක්වීමකට කරන යෝජනාවකි. පූර්ණක කෝලමෙන් කියැවෙන්නේ එරන්දතී නාග කන්‍යාව උදෙසා පූර්ණක යක්ෂයා මනුලොවට පැමිණ විධුර පඬිතුමන් නා ලොවට ගෙන ගිය අන්දම ය. මෙහි දී එරන්දතිය තම මව වූ විමලා දේවියට උපන් දොළ සන්සිඳවීම සඳහා විධුර පඬි ගෙන දීමට සමතෙකුට තමාගේ මනරම් වූ කම්සැප ලබා දෙන බව පවසමින් මෙර මුදුනේ සිට වීණා වාදනය කර එයින් පූර්ණක නතු කරගත් අන්දම නිරූපිත ය.

ඉරන්දකති දුව ඔබගේ මවට උපන් දොල සනස න්
නෙන් එ ලඳ මෙර මුදුනේ ඉඳ වීනා නද කරමි න්
පූර්නක යකු දැක මනරන් මගෙ කම්රස දෙමි සතුටි න්
ශනෙන් එනරලොවට ගොසින් දෙමි පඬිත ගෙන විගසි න්

මෙහි දී තම රූසපුව පුරුෂයන් ග්‍රහණය කර ගැනීමේ මාධ්‍යයක් සේ භාවිත කිරීම ශෘංගාරාත්මක අවස්ථා නිරූපණයට කදිම අවස්ථාවකි. එය රාගික හැඟීම් උත්තේජනය සඳහා යොමු කළ හැකි රංගනයකි.

සිංහ කෝලමෙන් ඉදිරිපත් වන්නේ සිංහල ජාතියේ උත්පත්ති කථාවට අයත් සිද්ධින් සිහිපත් කරමින් රතිසැප ලෝභයෙන් රන්පහයේ නොසිට විමනෙන් බැස තනි මග කැලයේ බැස ගිය වගු රජතුමාගේ දියණිය වනයේ සිටි සිංහයකුට හසු ව කටුකැලයේ ඔහු සමගින් විසූ ආකාරය යි.  කාන්තාවෝ පුරුෂයන් සමග පමණක් නො ව තිරිසන් සතුන් සමග වූව සමහන් සැපතෙහි යෙදීමට රිසි වූවෝ යැයි නිරූපණය කිරීමෙන් ඇති කරන්නේ ලිංගික උත්තේජනයකි.

අනුන් සතු ගැහැනුන් තමන් වසඟයට ගැනීමට දරන උත්සාහයන් පිළිබඳ වූ කථා ප්‍රවෘත්ති මේ අතර වැදගත් තැනක් ගනියි. අප මෙහි දී මුලින් සඳහන් කළ බඩදරු කථාව මෙයට කදිම නිදසුනකි. එයින් නිරූපණය වන්නේ තමන්ගේ පිහිට පතා පැමිණි සුරූපී කාන්තාවක ඇගේ හිමියා මරා රකුසකු විසින් අත්කර ගන්නා අන්දමයි.

කෝලම් රංගනයෙහි තවත් ජනප්‍රිය වූ නාටකයක් වන්නේ සඳකිඳුරු කථාවයි. පෙර කාලයේ බෝසත් කිඳුරකු ව හිමවු පියස වාසය කරන්නේ  කිඳුරා සමහන් සුවය පතා තම බිරිඳ මුව සිප වැළඳ ගනියි. ඔහු සඳුන් කපුරු ගත තවරා, දොඹ මල් සමගින් ගිරිනිල් කුසුම් ගෙන මල්දම් පැළඳ සතොසින් වස් කුලලක් ගෙන මනනද විලසින් පිඹිමින් තම කිඳුරඟන සමග රඟමින් සිටිය දී කිඳුරියගේ රූපයෙන් වශී වී ඇය ලබාගනු වස් බඹදත් රජ කිඳුරා දුන්නෙන් විද මරන්නේ ය. මේ රංගනයෙන් සමහන් සුවය සඳහා කෙරෙන ශෘංගාරාත්මක රංගනයක් ඉදිරිපත් වෙයි.

කිඳුරු රජු න් සමහන් සැපතට ලොබි නේ
විඳ සතොසි න් කිඳුරිගෙ මුව වැලඳ ගෙ නේ
සොබන ලඳු න් සහ කිඳුරිඳු මන නදි නේ
එවන නිති න් කෙල කෙල දවසරින ස ඳේ

කෝලම් රංගනයෙහි වන මනමේ නාටකය ද එවැනි ම කථා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්නකි. පෙර බරණැස් නුවර තම අණ තෙද සහ යස දස දෙස පතුරා ඉසුරු විඳ වැජඹෙනා මනමේ රජු තමාගේ බිසව සමගින් හිමයේ වැද මැරුණ ආකාරය මෙයින් නිරූපිත ය.

නුවර පෙර බරනැ ස
මනමේ රජුට තෙද ය ස
පැතුරු අන දස දෙ ස
ඉසුරු විඳ වැජඹෙනා එදව ස

මනමේ රජු පොර ණ
තමගේ බිසව සමගි ණ
හිමයේ වැද මැරු ණ
බලව උපමා අද මෙතන ව ණ

රජු බිසව සමගින් හිමය මැදින් ගමන් ගන්නා විට හමුවන වැදි රජකු මනමේ බිසව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බිසවගේ උදව් ඇති ව රජු මරා දමන ආකාරයත් වැදි දෙටුවා කුමරිය පිළිකෙව් කිරීමෙන් අසරණ වන ආකාරයත් මෙයින් නිරූපිත ය.

ගෝඩිම්බර කතාවෙන් ද නිරූපණය වන්නේ රූප සම්පත්තියෙන් යුක්ත විවාහක කාන්තාවක කෙරෙහි වෙනත් අයෙකු ආශක්ත වීම පිළිබඳ සිද්ධියෙකි. අමු සොහොනට උතුම් වූ ජයසේන නම් යකු අහසින් යන්නේ ගෝඩිඹරා බිසව දැක ඇය කෙරෙහි ලොබ ව සිත් බැඳී ඇයට වැසුණේ නුරා කෙළිය සඳහා ය.

ද රා රිටිගල එජයසෝනා අමුසෝන බලමැයි සිතා ලා
ස රා සවනත එගෝඩිඹර කෙලපු රනකෙලි දිනා ලා
සු රා බොම්මැයි සිතා ගෝඩිඹරගෙ බිසවට වැසී ලා
නු රා කෙලියට එජයසෝනා සිටිය එලඳට වැසී ලා

තම බිසවට වැසුණු යකු කෙරෙහි උරණ වූ ගෝඨයිම්බර යෝධයා ජයසේනට අභියෝග කිරීමත් උනුන් අතර සටනින් ජයසේන පරාජය වීමත් මෙයින් නිරූපිත ය.

අනන්ග බහිරව භූමිකාව මගින් ද නිරූපණය වන්නේ සියල් ලෝ සතුන් අතරින් රුසිරෙන් අගපත් වූ අනංගයා තමන්ට රුචි අයුරින් නිරන්තරයෙන් රතිකම් කෙළියෙහි ආලය කරන අයෙකු ලෙසිනි.

විඳි න් ඩ සිතු ලෙස තව රතිකන් කෙලියට විය සිතු ආ ලේ
ලෙව න් වසන් ශම අයගෙන් අගපත් රුසිරෙන් පිරි නෑ ලේ
කතු න් යුවල බබලා යොවුනෙත් යුත් සුරඟන සිටි දෑ ලේ
දෙව න් අසිරි නිති අනඟ බහිරව සුරපති හැම වේ ලේ

මේ භූමිකාව අනංග බහිරව කෝලම නමින් හැඳින්වුව ද මෙහි ඉදිරිපත් කෙරෙන්නේ අනංග දෙවියන් පිළිබඳ වූ රංගනයෙකි. මේ භූමිකාවෙන් අනංග දෙවියන් පිළිබඳ වූ පුරාකථාව සාවද්‍ය ලෙසින් භාවිත කර ඇති අතර ඒ මගින් ද ඉදිරිපත් කෙරෙන්නේ පරඅඹුවක කරා යාමෙන් ඔහු මරණයට පත් වූ බවයි. තමාගේ භාර්යාව වූ උමාව සමග රහසින් රසපහස විඳීම හේතුවෙන් ඊශ්වර දෙවියන් විසින් අනංග දෙවියන් භෂ්ම කරනු ලැබ ඇති බව මෙහි නිරූපිත ය. දේව පුරාණය අනුව ඊශ්වර දෙවියන් විසින් කාම දේවයා භෂ්ම කිරීමට හේතු වූයේ උමාව කෙරෙහි මහේෂ්වරගේ සිතෙහි ප්‍රේමයක් ඇති කිරීමෙන් ඔහුගේ දෘඪ තාපස ව්රතය බිඳ දැමීමේ වරද ය. එහෙත් මෙහි දී නාට්‍යයේ පරමාර්ථයට අනුව කථා ප්‍රවෘත්තිය වෙනස් කරගෙන ඇත.

වෙනත් ශෘංගාරාත්මක නිර්මාණ

පූර්වෝක්ත කථා ප්රවෘත්තීන්ගෙන් පැහැදිලි වන මූලික ලක්ෂණයක් වන්නේ කෝලම් රංගනය ශෘංගාර රසය ප්‍රමුඛ ව නිර්මාණය වූවක් බව ය. පූර්වෝක්ත නිර්මාණ පමණක් නො ව එහි ඇතුළත් දැනට ඒකල චරිත ලෙසින් පවත්නා විවිධ චරිත සහ නාට්යාංගයන්ගෙන් ද තත් ලක්ෂණය පැහැදිලි වේ. ඒකල චරිත ලෙසින් ඇති භූමිකා මුල දී කථාවස්තුවකට අයත් ව තිබී පසුව මූලික පුවත අතහැර දැමීමෙන් අනතුරු ව ඉතිරි වූ ඒවා ය. කෝලම් රංගයට අයත් ස්ත්‍රී භූමිකා නිර්මාණය කර ඇත්තේ ශෘංගාරය දනවන අයුරිනි. සලෙලුන්ගේ මන බඳනා ගිරිදේවී නමින් හැඳින්වූ නාග සහ දේව කන්‍යාවන් නිරූපණය මේ සඳහා මනා නිදර්ශනයෝ වෙති.

එරන්දතී නාග කන්‍යාව නා ලොව සිට නරලොවට පැමිණෙන්නේ නා වෙස් හැර දමා දෙවඟනක් මෙනි. තම රූසපුව පෙන්නා විදුර පඬිවරයා නාලොවට ගන යාමට දක්ෂයෙක් සොයන ඇගේ චරිතය නිරූපණය වන්නේ ශෘංගාර රසය ජනිත වන අන්දමිනි:

බා ග සලෙළු න්නේ
රා ග සිත් පොලඹ න්නේ
වේ ග නො වස න්නේ
නා ග කන්‍යා ලියකි එ න්නේ

පැහැප ත් තුනුරුසිරැති එලඳු න්නේ
යහප ත් උවනත රන්රුව වැ න්නේ
බලව ත් නාරජ සිර සෑදෙ න්නේ
දුටුවො ත් කවුරුද ලොබ නොකර න්නේ

ඇය සලෙලුන්ගේ සිත් රාගයෙන් පොලඹවන්නී ය. වත පුන් සඳ මෙන් ය. ළමැද දෙ තන මනහර රන්වන් පෙති ගෝමරයෙන් බබළන්නේ ය. සුනිල නෙතිඳුවර ඉඳුනිල් මිණි ය, සිරුර රන්වන් ය. විදුලිය සදිසි කැළුමෙන් යුත්තී ය. ගහනත මිනි ගන රණකුස සිරි දරන්නේ ය. දෙ අදර රතු ලවනත පබළ සේ වන්නේ ය. නිමල වූ දසන් කොඳ පෙළ සදිසි ය. අත්තන මල සේ රැලි අල්ලා සේලය ඉණ වට ඇඳ ඇත, නෙළුම් පතක් සේ කොණ්ඩය බැඳ ඇත. බැලූ බැලූ අය සතොසින් පිනවන යුග ඳඟ නිබඳ නිරාවරණය කරමින් පැමිණෙන්නී ය. පැහැපත් තුනු රුසිරෙන් යුත් රන්රුව වන් එ ලඳුන්නේ උවනත දුටුවොත් කවරෙක් ලොබ නොකරන්නේ ද? දෙතිස් රාග සහ පද තාල සිතු විලසින් තෙර පැමිණි රැඟුමෙන් පියයුරු හංස පැටියන් ලෙල දෙවමින් දිමි දොන් දොම් හඬින් රිසි ලෙස ඉඟසුඟ නටවමින් ඇසිපිය නොහෙලමින් ඇය සබයෙහි රඟන්නී ය.

දේවගිරි කල්‍යාණිය ලොල් වඩන වරලස සුවඳවත් වූ මල්පටියෙන් ගවසා බැඳ ගෙලෙහි මුතුහර පැළඳ, සිහිනිඟ දිලෙන සුදු සළුවක් රැළිලා අඳින්නී ය. සිත් ඇද ගන්නා වූ නොයෙක් මිණි අබරණ පැළඳ සැරසී සුවඳ සඳුන් පිනිදිය ගත තවරා ගන්නී මිණි ගිගිරි හඬින් යුක්ත ව සුරපුරෙන් බැස එන්නී දෙසවන රුවන් තෝඩු සඟලකින් බබළන්නේ ය.   උවන සුපුන් සඳ මෙන් දිලිසෙන්නේ ය. දිය මත්තෙහි පිහිනනා හංසාංගනාවක් මෙන් මඳ මඳ ගමනින් ඇවිත් බිඟු මුළු හැසිර පෙළින් පෙළ වැද රොන් ගන්නා සේ සිහිනිඟ සලිත කර මඳ හස පාන්නී සිත් ඇදගන්නා වූ බොලඳ වදන් පවසා නිබඳ පිරිපත දුක් සින්දවමින් නෙතගින් බලමින් දුටුවන්ගේ සිත් සතුටු කරන්නී ය.  පදින් පද කියා සබයේ සන්තෝසයෙන් රැඟුම් දක්වන්නී ස්වර්ණ හංස පැටවුන් වැනි ය’ දැක්කවුන්ගේ හද තුළ පමණ නො වන පෙලඹීමක් ඇති වන්නේ ය.

බිඟු මුළු හැසිර පෙලින් පෙල වැද රොන් ග න්නේ
සිහිනිඟ සලිත දෙමින් මඳ හස කරමි න්නේ
තුළු වන දෙන්න කසුන් හන්ෂ පැටි සිරි වැ න්නේ
හද තුල පමන නො වන පොලඹ න්නේ

උමා දෙවඟන නිරූපණය වන්නේ ද පෙරකී ආකාරයට ශෘංගාරාත්මක ව ය. දෙව් ලොව සිට මෙහෙසුරු උමා සබයට සපැමිණෙන්නී දුටුවන් සිත ප්රේමයෙන් යුක්ත කරවයි.  වරලස මල් පටියෙන් ගවසා බැඳ ඇත.  නළලත අඩ සඳ සේ දිලෙන්නේ ය.  වත රන් පාටින් බබළන්නේ ය.  සවනත රුවන් තෝඩු සඟලින් දිලිසෙන්නේ ය.  දිලෙනා ළමැද දෙතන මල් පියුමක් මෙන් බබළන්නේ ය.  රැලිලා දිලිසෙන රන්වන් දිවසළු හැඳ ගනරන් බරණින් සැරසී සඳුන් සුවඳ විහිදෙන ගතින් යුතු ව බැලූවන් සිත් පිනමින් රඟ දෙන්නී ය.

කන ක වර්ණයෙන් දෙවිරුව මුදුනත වැඩ හිඳිමින් දිලෙ නා
මන තොස වඩවන ඉසිවර උමයඟනන් මන රස පෙන් වඩ නා
රන හන්ෂ පෙළ මෙන් වරලෙස මල් පටියෙන් ගවසා ලා බඳි නා
මන පෙන් වඩන සුරඟන දෙව් ලඳ සබයේ රඟ දෙමි නා

දේව සහ නාග කන්යාවන් පිළිබඳ චරිත නිරූපණයේ දී මෙන් ම මනුෂ්ය කාන්තා නිරූපණය ද ශෘංගාරය ම පදනම් කරගෙන ඇත. කදිරා නම් වූ තම දෙමළ හිමි සමගින් අත්වැල් බැඳ සබයට පැමිණෙන දෙමළ අඟන විපුල නිමල ගුණයෙන් තොර වූ කතකි. ඇය තම මුව, කර, ළැම, දෙතන බෙර නාදයට අනුව නටවමින් සබයට එන්නේ දුටුවන්ගේ සිත් වශී කරවමිනි:

ලොල් වු හිමිට මම එකියන ඉවතට හරවමි නා
ඇ ල් වු පදය මුවරද කර නටවා ලැම දෙත නා
නි ල් ළු පේසු කියා සබේ මතින් සැමට සිටි නා
ම ල් ළු කාසි තාරු කියා නටයි දෙමල අඟ නා

කෝලම් රංගනයේ දක්නට ලැබෙන ශෘංගාරගාත්මක රැඟුම් අතර බෙහෙවින් ජනප්රිය භූමිකාවක් වන ලෙංචිනාගේ රංගනය මෙහි දී වැදගත් ස්ථානයක් ගනියි. එය තම රූපයෙන් සලෙලුන් කුල්මත් ව රාගයට පොලඹවන්නී ය. තරුණයන් පොලඹවා ගැනීම සඳහා ඇය තම අතෙහි වූ මල්ල හුණු පුවකින් පුරවාගෙන සිටින්නී ය. තම මහලු සැමියා පිළිබඳ වූ අසහනයෙන් ඇය තරුණන් සමග හාදකම් පවත්වන්නී ය:

රූපා අංගයෙන් සලෙලූන් කුල්මත්ව රාගයට පොලඹ නා
දීප තුලයට වෙනින් කතෙක් නැත ලෙන්චිනා සමාන වු විලසි නා
සෝකයෙන් තම හිමිය නොදැක ඈ බොහෝ කුල්මත් වූ ගතියෙ නා
සාපයෙන් කොමල වූ ලෙන්චිනා සබ තුලට එන්ඩ දැන් නික්මු නා

පුංචි කාලේ සි ට
වංච බස් දී තෙපුල් හිමිහ ට
සංචල් නොව සිත ට
ලෙන්චිනා ඒය සරඹ ගමන ට

සැම තරුණන්ගෙ සි ත
මවිත කරවන ලෙසින් දැන් එ ත
මෙ සබයට දිවුන ත
ඒය රුසිරෙන් දිලි පේඩි ක ත

මල්ල හුණු පුවකි න
කොල්ලො දෙස බලා ඉඟිකරමි න
කල්ල හොර මායමි න
කෙල්ල ලෙන්චින ඒය දුවගෙ න

මම් වගේ පේඩි කතක් දුටුවා ද ලොවේ රුසිරෙන් දි නා
මව්පියො නිදහස් වෙන්නටා මාව දුන්නයි නාකි වු හමෙකු ටා

තම හිමියා හැර පරපුරුෂයන් සොයා යාම පිළිකෙව් කරන සිංහල සමාජය මෙවැනි චරිත මගින් ශෘංගාරාත්මක නිරූපණයන් ඉදිරිපත් කිරීමෙන් ලිංගිකචර්යාවන් පිළිබඳ යම් උත්තේජනාත්මක හැඟීමක් ප්රේක්ෂකයාට ලබා දුන් බව පැහැදිලි වේ.

යෞවන චරිත මගින් පමණක් නො ව මහලු චරිත නිරූපණයන්ගෙන් පවා ශෘංගාරගාත්මක හැඟීම් ඇතිකිරීමට දැරූ උත්සාහයන් කෝලම් රංගනයෙන් දැක ගත හැකි ය. කටේ දත් සැලී නිකටත් උල් ව ජරපත් වේශයෙන් පිටින් වක් ව සුදු රැවුල සොලවමින් සබයට පැමිණෙන මහල්ලා පවසන්නේ යෞවන වයසෙහි රුසිරෙන් යුතු ව සිටි තම බිරිඳගේ අවධානය දැන් තමන් කෙරෙහි නොමැති බවයි. මැහැල්ල පවසන්නේ යොවුන් වයසෙහි රටක් වටින තම පියයුරු දැක ස්වකීය හිමියා තමන් ළඟ ම දවසැරගන සිටිය ද දැන් දතුත් වැටී ඇඟ රැලි වැටුණු පසු එසේ නො වන බවයි. සිය ගත හයි නැති ව වැගිර අත්ද`ඩු වියලි ව ප්රිය  නො වන්නා වූ කයිපයි දොඩමින් ඇය සබයට එන්නේ පෙර යවුවන වයසෙහි ගුණ මානෙන් ණය ගත් උදවිය සිටිනා නිසා වියදමට අ`ඩුලුහු`ඩු ව ගොස් ඇති බැවින් ණය අයකර ගන්නා ලෙසට ය. මැහැල්ල මහල්ලාගෙන් මහරාලේ නුබ කොයි යන්නේදැ යි අසන සඳ මහලු කතුන් ගෙදරට වී නොයිඳින සඳ මගෙන් අසමින් නුඹ දැන් ඇවිදින්නේ කොහේ දැයි අසන්නේ ය. විය පත් වුව ද ඔවුහු ප්රේමය සොයා යති:

ර ටී වටින පියයුරු දැක මිහිමි ස ඳ
සි ටී මා ල`ග ම දවසැරගෙන නොම ඳ
වැ ටී දතුත් ඇ`ග රැලි වැටෙයි ත ද
නැ ටී මහලු අ`ගනෙක් දැන් සබා මැ ද

ව ය සයි පෙර යවුවන ගුන මානෙ න්
නය ගත්තෝ ඇත මේ සබ නිතියෙ න්
වි ය දමට අඩුලූහුඬුව ගොසි න්
අ ය කරගන්නට ආවෙමි ඉති න්

තවත් මෙවැනි වියපත් අයෙකුගේ රංගනයක් ආඬිගුරු කෝලමෙන් නිරූපිත ය. ආඬිගුරුගේ වරලස පැසී සුදු පාට වී ඇත. වයස්ගත වීමත්, කොක්කන පයියේ බරටත් කොන්ද නෙරලු කොටන් සේ වක ගැසී කුද ගැසී වකුටු වී ගොස් ය.  ගමන වඳුරෙක් ගස උඩ නිකට පපා යන්නා සේ ය. දත් වැටී නිකට සහ හොකු ඇකිලී ගොසින් ය. කන්සා බී මත් වී සබයට පැමිණ නටන්නේ බටුනටු ඇනුනා විලසින් දඟලමිනි.  වයසට ගොස් දත් වැටී ඇඟ රැලි වැකී තිබුණ ද අටුපුටු කිසිවක් නොසොයා නිතරම බිම වැටී හිඳ ගනිමින් සබයේ සිටිනා අ`ගනුන් දැක ඔවුන් කෙරෙහි ප්රේම කිරීමට ද කැමැත්තේ ය.

රකි න සීලෙ නේරැක අපිරිසිදු සිරිත කරව `ඩා
ගොසි න වයස දත් වැටෙමින් ඇඟ වැකිරැලි වෙ `ඩා
සිටි න මෙසබෙ අඟනො දැක පේරපඇඟමය ලොබ ව `ඩා
රැකෙ න පිනිස ආමි මෙතන නටා තෑගි ග `ඩා

ලන්දේසි (කරපිට) කෝලමෙහි නෝනාගේ චරිතයෙන් නිරූපණය වන්නේ කාමී පුරුෂයන්ගේ සිත් ඇදගන්නා කතක් ලෙසිනි. ඇයගේ සිරුර රන් ලතාවක් බඳු ය. මුහුණ සිසි බිඹුව මෙන් ය. පියයුරු කුඹු වැනි ය. රූසිරියෙන් සුරඟනක වැන්නී ය. හැමවිට ම කාමී සලෙලුන්ගේ නුවන්හි ඇඳි රසඳුනක් සේ ඔවුනගේ කාමය වඩවමින් නෝනා සුරතල් සේ රඟන්නී ය. රතියට ආලය ඇත්තෝ නෝනා ආභරණයෙන් සැරසී රඟදෙන විට රන් මාල දෙන්නාහ. ඇයගේ රැඟුම ගුත්තිල ඇදුරු මියුරු වෙණ නද කළ දින සොඳුරු සුරඟන සබ මැද රංගනය කළ සේ විය’ නැතහොත් අජපල් නුග සෙවනෙහි සුගතිඳු වැඩ උන් දවසේ ඔවුන් අබියස මාරදූහිතෲන් නර්තනය කළ විලාසයත් ගන්නේ ය.

හැම කල් කා මා
වඩවන සලෙළුන් හැ මා
සුරතල් සේ මා
නොනා රඟඳුන් සේ මා

රතියට ආ ලේ
කරවන සත හැම කා ලේ
දෙති රන් මා ලේ
නෝනා රඟ දෙන කා ලේ

අභිචාරාත්මක ලක්ෂණ

කෝලම් රංගනයෙහි අභිචාරාත්මක ලක්ෂණ පිළිබඳ ව ඇතැම් කෝලම් කවි ආශරම්රයෙන් ද තොරතුරු ලබා ගත හැකි ය. පූර්ණක යක්ෂයා පිළිබඳ කෝලම රංගනයට ඇතුළු කිරීමේ දී එය රෝපණ කළ දෝෂ ඇතොත් අප රැක දී සෙත්දෙන්නේ යනුවෙන් ද කෝලම් රංගනයේ පරරෙ ධානියා කපුඇදුරු ලෙසින් ද සඳහන් කර ඇති අවස්ථාවක් වේ:

ව ත් හය හතරත් හරිහරනට තු ට
න ත් අත නැගු අත පඬි රඟ සෙත් කො ට
සි ත් ලෙස රුව යොදමින් එක විලස ට
සෙ ත් දෙන් මේ කෝලම කපු ඇදුරු ට

නාගරාක්ෂ චරිතය ඉදිරිපත් කිරීමේ දී ඒ මගින් සබයට පමණක් නො ව කෝලමෙහි කපුඇදුරුට ද සෙත් දෙන මෙන් ආයාචනය කරන්නේ ය. කපුඇදුරු යන්න යොදන්නේ හුදෙක් අභිචාරකර්මයන්හි දී විනා අනෙකුක් නාටකවල නො වේ. මෙහි කපුඇදුරු ලෙසින් නාටකයේ නියමුවා හඳුන්වා තිබීමෙන් පෙනීයන්නේ කෝලමෙහි කිසියම් ගුප්තාර්ථයක් ගැබ් ව ඇතැයි ප්රේක්ෂකයින්ට ඇ`ග වීමට උත්සාහ ගත් ආකාරයකි. නාට්යයේ පරමාර්ථය ඍජු ව සංනිවේදනය වුවහොත් සාම්පරමට දායික සමාජයේ පිළීගැනීම හීන වන බැවින් මෙයට අභිචාරාර්ථයක් ආරෝපණය කරන්නට ඇතැයි නිගමනය කළ හැකි වේ. එබැවින් මෙය ගර්භ ශාන්තියක් සේ හැඳින්වීමට පෙලඹෙන්ට හේතුවක් වී ඇත.

මෙහි දී අවධාරණය කළ යුතු විශේෂ කරුණක් ද වේ. එනම් මේ රංගනයෙන් ලිංගික හැ`ගීම් උත්තේජනය කළ ද සමාජයේ පිළිගත් සාරධර්මයන්ට අනුකූල වන සේ එම කාර්යයෙහි යෙදීමට නාට්යි කතුවරුන් උත්සාහ ගෙන ඇති ආකාරයයි. පරදාරකර්මය වනාහි පාපයකි. අවකල් ක්රියාවකි.  සමාජයේ ගැරහුමට ලක්වන මේ විෂයය ර`ගදක්වා ඒ කෙරෙහි සමාජය ආශක්ත කිරීම නොකළ යුතු ය. එබැවින් මෙය නාට්‍ය පරමාර්ථය හා සමාජ පිළිගැනීමට සමපාත වන සේ යොදා ගැනීමට ඔවුහු උත්සාහ කළහ. මෙහි දී පතිද්රෝමහි වන මනමේ බිසවට මරණය පමුණුවන්නේ සක්දෙවියන් විසිනි. බෞද්ධ සම්ප්‍රදායේ ශක්‍ර දෙවියන් බුදුන් සරණ ගිය උපාසකයෙකි. චුල්ලධනුග්ගහ ජාතක කථාවේ ශක්‍ර දෙවියන්ගේ පැමිණීම වන්නේ මනමේ බිසවට සද්මාර්ගය අවබෝධ කරවීමට ය. එසේ වුව ද කෝලම් රචකයා ශක්‍රයා කැඳවන්නේ පතිද්රෝහිනිය මරා දැමීමට ය:

මෙලෙසින් අඬමින් ඉකිබිඳ බිඳා
තද සෝ දුක් ඉවසනු බැරි සඳා
වනයේ දෙවියන් හට යැද යැදා
සිටිනා සඳ බිසවුන් වන මැදා

ස ක් දෙවියෝ මෙපවත් දකිමි න්නේ
එ ක් කරුණක් කරමැයි විගසි න්නේ
දු ක් වැද සිටි බිසවුන් නොලසි න්නේ
එ ක් සැනකින් නසමැයි සිතමි න්නේ

ස ක් දෙවියෝ මෙපවත් දකිමි න්දා
එ ක් සැනැකින් මාතලි කැ න්දා
එ ක් දෙවියකු තව ගෙන කැ න්දා
නි ක් මුනි නරලොව එන මෙ න්දා

මේ ලෙසින් පති ද්රෝහිනියට මරණය කැඳවන කෝලම් රචකයා පරඅඹුවන් සේවනයේ යෙදීමට තැත් කළ බඹදත් රජු නින්දාවට ද පත් කරයි:

බොසෝ මෙවන් සිරි පිරි නුවරට තොප ගේ
මා සේ සතුන් අරගන යනු මොක ද අ ගේ
ආවේ මෙවන් දුක් දෙන්න ද හිමිට ම ගේ
වාහේ වෙයන් නුවරට ගොස් මෝට ත ගේ

කිසියම් වරද නොකලැකි මගෙ හිමි සඳ යා
අද දැන් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා
මට වන් මෙදුක් ඇවිලෙයි හද තුල කකි යා
රජකම් කරන හැටි කදිමයි බලු ජඩ යා

කිඳුරියගේ පතිභක්තියේ බලයෙන් කිඳුරාට ජීවිතය ලබා දෙයි. මෙහි දී සක්දෙවියන් මෙතෙක් කළ සද්භාවයේ ම යෙදී කිඳුරාගේ දිවි ගලවමින් පතිවතෙහි බලය ප්රකට කරයි.

තත් කරුණු පරීක්ෂා කර බැලීමේ දී පැහැදිලි වන්නේ අතීතයේ දී කෝලම් රංගනය නාට්‍ය කලාව පිළිබඳ මනා දැනුමැත්තන් විසින් සමකාලීන සමාජයේ මානව ප්‍රජනනය අරභයා ඇති වූ ඇතැම් මානසික ගැටලු නිරාකරණය පිණිස මනෝ චිකිත්සක පිළියම් ක්‍රමයක් සේ යොදා ගැනීමට දරන ලද උත්සාහයක් ලෙසින් අගය කළ හැකි බව ය.

මහාචාර්ය ගාමිණී දෑළ බණ්ඩාර

Posted in Uncategorized | Comments Off on Kolama as a therapy

සොකරි, කෝලම්, කවිනළු හෙවත් නාඩගම් සහ ජන නාට්‍ය මිථ්‍යාව

සිංහල නාට්‍යයේ ප‍්‍රභවය පිළිබඳ අධ්‍යයනයේ නියුතු වූ පුරෝගාමී පර්යේෂකයන් අතරින් ප‍්‍රමුඛයා වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ඔහු විසින් 1952 වර්ෂයේ දී පළ කරන ලද The Folk Drama of Ceylon නමැති කෘතිය පසු කාලීන ව සිංහල නාට්‍ය ප‍්‍රභවය පිළිබඳ පර්යේෂණය කළ බොහෝ දෙනාට මාර්ගෝපදේශය සැපයූ අත්පොත බවට පත් විය. 1968 දී මේ කෘතිය සිංහල ගැමි නාටකය නමින් සිංහල භාෂාවෙන් ද පළ වූ අතර එවක් පටන් වර්තමානය දක්වා පාසල් අධ්‍යාපනයේ මෙන් ම විශ්වවිද්යාල අධ්‍යයන පටිපාටියේ ද ඉතා ඉහළ සම්භාවනාවට පත් වූ මූල ග‍්‍රන්ථයක් බවට පත්ව ඇත. මේ කෘතියෙන් සිංහල නාට්‍ය කලාවේ ප‍්‍රභවය පිළිබඳ විශ්ලේෂණයෙහි යෙදෙන සරච්චන්ද්‍ර ඇදුරුතුමා ලක්දිව ක‍්‍රියාත්මක වූ ථෙරවාදී බුදු සමය නිසා දියුණු නාට්‍ය කලාවක් ඇති නො වූ බව නිගමනය කරයි. යම් තරමකින් හෝ දියුණු නාට්‍ය ලක්ෂණයන්ගෙන් සමන්විත වූ නාට්‍ය පිළිබඳ ව ලාංකිකයා ආභාසයක් ලැබූයේ කතෝලික මිෂනාරි ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් ලෙසින් ඇතිවූ නාඩගම් සම්ප‍්‍රදාය නිසා බව එතුමෝ විශ්වාස කළහ. සරච්චන්ද්‍රයන් විසින් එලිදක්වන ලද මේ මතය පසුකාලීන ව බොහෝ දෙනෙකුග ම පිළිගැනීමට හේතුවක් වන්නේ ලක්දිව නාට්‍ය කලාවේ මංසලකුණු දැකවීමෙහි ලා නාට්‍ය නිෂ්පාදකයෙකු වශයෙන් එතුමා අත්පත් කරගත් අනභිභවනීයත්වයත් විශ්වවිද්යාල මහාචාර්ය වරයෙකු වශයෙන් තමන් ආශ‍්‍රයෙහි ශාස්ත්‍රොද්ග‍්‍රහණය කළ විද්යාර්ථීන් රාශියක් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ නියුතු වූ බැවිනුත් ය.

සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණයන්ගෙන් අනතුරුව ලක්දිව නාට්‍ය කලාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කළ බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වූයේ පැරණි ලක්දිව දියුණු නාට්‍ය කලාවක් නො වූ බව ය. වෙනත් ආකාරයකින් පැවසුව හොත් සරච්චන්ද්‍රයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ මතය පසුකාලීන ලේඛකයින් විසින් සදාදරණීයව ගෙෳරවබහුමානයෙන් යුතුව අනුගමනය කරනු ලැබූ බවයි.

අතීතයේ සිට ලක්දිව පැවත එන සිංහල නාට්‍ය සම්ප‍්‍රදායයන් වූ සොකරි, කෝලම් සහ කවිනළු හෙවත් නාඩගම් විදග්ධ සම්ප‍්‍රදායයන් නො ව ගැමි හෙවත් ජන නාට්‍ය සම්ප‍්‍රදායයන් ලෙස හැඳීන්වීමට බොහෝ දෙනා පෙලඹ සිටිති. මේ මතය මෙසේ තහවුරු වන්නේ ද සරච්චන්ද්‍රයන්ගේ කෘතිය මගින් එම සම්ප‍්‍රදායයන් ජනනාට්‍ය ලෙසින් හැඳින්වීම ය. මේ නිගමනයට පැමිණීමට ඔවුන් පෙලඹ වූ ශාස්ත‍්‍රීය හේතු යුක්තීන් මොනවාදැයි ඔවුහු කිසිතැනක පැහැදිලිව සඳහන් නොකරති. එබැවින් හේතු යුක්තීන්ගෙන් තොර ව ඉදිරිපත් කෙරෙන මෙවැනි කරුණු ශාස්ත‍්‍රීය ගෞරවයට තරම් නො වේ.

අතීතයේ සිට පැවති මේ රංග සම්ප‍්‍රදායයන් ජනනාට්‍ය ලෙස හැඳින්වීමේ යුක්ති යුක්ත භාවය අවබෝධ කරගැනීම සඳහා ජන සම්ප‍්‍රදාය යනු කුමක්දැයි වටහා ගත යුතු ය. ජන නැටුම්, ජන සංගීතය, ජන කතා ආදී වූ ජන කලාංගයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මූලික වන්නේ ජනශ‍්‍රැතියයි. ජනශ‍්‍රැතිය පිළිබඳ අපරදිග විද්වතුන්ගේ අවධානය යොමු වන්නේ දහනව වැනිි සියවසේ මැද භාගයේ සිට ය. එහි දී ඔවුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ යුරෝපයේ පැවති වැඩවසම් සමාජයේ ජීවත් වූ ප‍්‍රවේණි දාස ප‍්‍රජාව හෙවත් වහලුන් පිළිබඳ අධ්‍යයනයේ යෙදීම ය. මෙහි දී සමාජයේ වරප‍්‍රසාද ලාභී ප‍්‍රභූන්ගෙන් සාක්ෂරතාවෙන් වියුක්ත වූ පිටිසර ගැමියන් නො එසේනම් වහල් ශ‍්‍රමික ගොවීන්ගේ සංස්කෘතිය වෙන් කර හැඳින්වීම සඳහා භාවිත වූයේ ජනසම්ප‍්‍රදාය (folk tradition) යන යෙදුමයි. එහි දී ප‍්‍රභූන් ආශ‍්‍රයෙහි පැවති සාද නැටුම් හෙවත් බාල් නැටුමෙන් (ballroom dance) වැඩවසම් ශ‍්‍රමිකයාගේ නර්තනය වෙන්කර හැඳින්වීම සඳහා භාවිත යෙදුම වූයේ ජන නැටුම් (folk dance) යන්නයි. මෙහි දී වරප‍්‍රසාදිත ප‍්‍රභූන්ගේ කලාව මහා සම්ප‍්‍රදාය ලෙසත් වැඩවසම් ශ‍්‍රමිකයාගේ කලාව චූල සම්ප‍්‍රදාය ලෙසත් වර්ගීකරණයට ලක් විය.

ජන නැටුම් යන යෙදුම භාවිතයට පැමිණි අවස්ථාවේ එය අර්ථ කථනය වූයේ එක්තරා ආර්ථික හා සමාජ ස්තරයකට අයත් එසේ ම යම් නියත වූත් විශේෂ වූත් ප‍්‍රදේශයක් නියෝජනය කරන්නාවූත් යම් ජන සමාජයක සාමාජිකයින් විසින් සංදර්ශනාත්මක අවශ්‍යතාව මෙන් ම විශ‍්‍රාන්තිය උදෙසා සාම්ප‍්‍රදායානුකූල ව පවත්වන්නා වූ රංගන විශේෂයක් ලෙසිනි. වඩාත් සරල ව පැවසුව හොත් එය වැඩවසම් සමාජයේ කාෂිකර්මයෙන් යැපුණු වහල්ජන කණ්ඩායම් හෙවත් ප‍්‍රවේණි දාස සමාජයන්හි සාමාජිකයන් විසින් රඟදක්වන ලද නර්තන විශේෂයක් සේ හැඳින්විය හැකි ය.

සොකරි කෝලම් කවිනළු සම්ප‍්‍රදායයන් රංගගත වූයේ නර්තනය පදනම් වීමෙනි. සාමාන්‍ය ජනයා මේ සම්ප‍්‍රදායයන්හි රංගනය කෝලම් නැටීම, සොකරි නැටීම හෝ නාඩගම් නැටීම ලෙසින් හැඳින්වූයේ එබැවිනි. මෙහි දී අප විසින් ජන නැටුම යනු කුමක් ද? ජන නැටුමට ආවේණික ලක්ෂණ මොනවාදැයි හැඳින ගැනිීම වැදගත් වන්නේ මේ රංග සම්ප‍්‍රදායයන් ජන මුද්‍රාවෙන් හෙවත් වහලුන්ගේ කලාවෙන් හැඳින්වීම කෙතරම් අසාධාරණ දැයි අවබෝධ කරගැනීම සඳහා ය.

ජන නැටුමට ආවේනික ලක්ෂණ කිහිපයකි. ජන නැටුම ඍජු ව ම ප්රේක්ෂක සාහභාගිත්වයක් අපේක්ෂා නො කරයි. අදාළ අවස්ථාවට සහභාගි වන ජන කණ්ඩායමට අයත් සියල්ලන්ගේ ම සහභාගිත්වයෙන් නර්තනය ඉදිරිපත් කෙරේ. රංගනයේ නිරත වන්නන්ගේ වින්දනය ප‍්‍රමුඛ කොට පවත්වන්නක් බැවින් මෙහි දී ප්රේක්ෂක වින්දනය පිළිබඳ එතරම් අවධානයක් යොමු නො වේ.

ශාස්ත‍්‍රීය හෝ වෘත්තීය ශිල්පීන්ගේ රංගනයන්හි මෙන් නො ව පොදුවේ ජන නැටුමේ දී භාවිත වන්නේ නැවත නැවතත් භාවිත වන සරල පියවරයන් (අඩි) ය. රංගනය ඉගැන්වීම හෝ ඉගෙනීම සඳහා ආයාසයක් නොගත් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ජන නැටුම අදාළ ජන සමාජයේ ඕනෑ ම සාමාජිකයකුට පහසුවෙන් අනුකරණය කළ හැකි අන්දමින් නිර්මාණය වූවකි. රංගන ශිල්පින් නො වන සාමාන්‍ය ජනයාගේ සහභාගිත්වයෙන් සිදු වූ ජන නැටුමෙහි දී භාවිත වූයේ ලුහුඬු ප‍්‍රකාශන පුනරුච්චාරණය කිරීම හා සරල අංග චලනයන් ය.

එක් එක් ජන කණ්ඩායමට අනුව නැටුමෙහි ස්වරූපය වෙනස් විය. ඇතැම් යුරෝපා පරිසරයක දී පියවර තැබීමේ රටා අවධාරණය කරමින් උඩුකය චලනයට ප‍්‍රමුඛත්වයක් දෙයි. ස්ත‍්‍රීන්ගේ හා පුරුෂයන්ගේ චලන වෙනස් වේ. පූරුෂයෝ තාණ්ඩව විලාශයෙන් වේගයෙන් පාදය භූමියෙහි ඝර්ෂණය කරමින් ආකර්ෂණීය ව නර්තනෙයෙහි යෙදෙති. කාන්තාවෝ ද ලාලිත්‍යමය අන්දමින් ලාස්‍ය රංගනයෙහි යෙදෙති.

රංගනයෙහි දී අවකාශයේ හැසිරීමේ දී සහ ඉදිරියට යාමේ දී භාවිත වන නර්තන රටා ජ්‍යාමිතික හැඩයන් ගනු ලබයි. මෙහි දී වෘත්තාකාර බව වඩාත් අවධාරණය වේ. සාමුහිකත්වය ඔප්නැංවීමේ දී මෙම නර්තන ශෛලිය වඩාත් කැපී පෙනේ. නර්තකයන් එකිනෙකා පිටුපසින් හෝ එකිනෙකාට යාබද ව හෝ එකිනෙකාගේ අත් අල්ලා ගැනීම, ඉන වටා හෝ උරහිස වටා අත් යවා හෝ එකිනෙකාගේ බඳපටිවලින් අල්ලා ගෙන හෝ රංගනයේ යෙදීම මෙහි දී දැකිය හැකි මූලික ලක්ෂණයකි.

මේ ජනනැටුම්වල දී සංගීතය අත්‍යවශ්‍ය අංගයක් විය. වාචික අභිනය අනිවාර්ය නො වූව ද ගායනයක් වූයේ නම් එය රංගනයෙහි ප‍්‍රභාව වර්ධනයට හේතු විය. නර්තකයෝ තම ඇඳුමට සවිකරගත් කයිතාලම්, ගිගිරි වැනි භාණ්ඩ මගින් නැටුමට උචිත සංගීතය නිපදවා ගනිති. එක්කෝ පයෙහි ගිගිරි පැලඳ ගනිති; ඇතැම් විටෙක තම පාදය තාලය නිපදවා ගන්නා භාණ්ඩයක් බවට පත්කර ගනිති; නැතහොත් අත්පුඩි ගසති; නැතහොත් අසුරුසන් ගසති; නොඑසේ නම් තම පය තදින් පොළොවේ ගටති; යෂ්ටි රැගෙන කරන නැටුමක දී නම් එය පොළොවේ ගටා නැටුමට අවැසි හඬ නිපදවා ගනිති; ප‍්‍රීතිය දනවන ආලාප ගායනා කරති.

මේ නැටුම්වල දී රංගනයේ ප‍්‍රභාව වර්ධනය පිණිස විවිධ විලාසිතාවෙන් යුතු සාම්ප‍්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිත වේ.

ජන නැටුම් පැවැත්වෙන්නේ සාමාජික අවශ්‍යතාව මත බැවින් ඒවා යම් ආගමක හෝ ජන ජීවිතයට හෝ අදාළ ව සංස්කාරමය අවස්ථාවක දී හෝ රඟ දැක්විය හැකි ය. කෘෂිකාර්මික සමාජයක දී තම ප‍්‍රජාවෙහි ආර්ථික ජීවිතය හා බද්ධ වන අවස්ථාවන්හි මේ රංගන පැවැත්වේ. ක්ෂේත‍්‍රය ශුද්ධ කිරීම, බීජ වැපිරීම, අස්වනු නෙලා ගැනීම වැනි අවස්ථා මෙයට නිදර්ශන වේ. පැහැදිලි ඍතු විපර්යාසයන් ඇති යුරෝපාදී රටවල ඍතු වෙනස් වීම අළලා ද, ඇතැම් විටෙක වෘත්තීය ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ ව ද මේ නැටුම් පැවැත් වේ. තත් නැටුම් පදනම් ව ඇත්තේ වෘත්තීය ක‍්‍රියාකාරිත්වයෙහි භාවිත අංග චලනයන් පදනම්කර ගනිමිනි. තමන් කරන රැකියාවේ වෙහෙස නිවා ගැනීම, තම කාර්යය වඩාත් ප‍්‍රසන්න වූවක් බවට පත්කර ගැනීම මෙහි පරමාර්ථය වේ. පුද්ගල ජීවිතය හා බැඳුණු උපත, උපනයනය, වැඩිවියට පැමිණීම, විවාහය, නිලතල ලැබීම ආදී ජීවන සංස්කාරයන් අරභයා පැවැත්වෙන උත්සවයන්හි දී ද ජන නැටුම භාවිත විය.

ජන නැටුම පාරම්පරික ව දායාද වන්නක් බැවින් එම රංගයෙහි නර්තන රචකයා අඥාත ය. එය එක් අයෙකුගේ හෝ සාමුහික වෑයමක ප‍්‍රතිඵලයක් වශයෙන් හෝ වර්ධනය වූවකි. තව ද මෙයින් පෙනී යන්නේ ජන ජීවිතයේ අවශ්‍ය අංගයක් ව පවත්නා තාක් කල් ජන නැටුම ඒවා හා බැඳුණු විශේෂ අවස්ථා සමග පවත්නා අතර ඒවා නියත පුද්ගල හා සමාජ කණ්ඩායම් හා බැඳී ඇති බවයි. ඉන් බැහැර වූ කල්හි ඒවායේ පැවැත්ම ඉදිරියට ගලා නො යයි. ජන නැටුම එක් එක් ජන කණ්ඩායමක අනන්‍යතාව හා ජාතිකාභිමානය විදහා දක්වන සංකේතයක් ලෙසින් ද හැඳින්විය හැකි ය.

එසේ වුව ද මේ රංගන වර්තමානයේ යුරෝපයේ මෙන් ම ඇමරිකාවේ ද ජන නැටුම් ලෙසින් හැඳින්වීමෙන් ඉවත් වී ගොස් ඇත. එයට හේතුව වන්නේ වැඩවසම් සමාජයේ සාක්ෂරතාවෙන් තොර වූ වහල් ශ‍්‍රමිකයන්ගේ කලාව හැඳින්වීම සඳහා ජන සම්ප‍්‍රදාය යන්න යෙදීමෙන් යම් අවමානාත්මක අදහසක් ගැබ් වීම ය. එවක එම ශ‍්‍රමිකයන් වහලුන් හෝ ප‍්‍රවේණි දාසයන් ලෙසින් ජීවත් වූ අතර, ඉතා අයහපත් ජීවන ක‍්‍රමයක් හිමි කර දුන් තත් අශිෂ්ට සමාජ ආර්ථික ක‍්‍රමයේ දී වූ එම අවමානාත්මක භාවිතය තවදුරටත් යෙදීමෙන් වැළකීමට පියවර ගෙන ඇත. ඒ සඳහා වර්තමානයේ සාම්ප‍්‍රදායික නැටුම (traditional dance) හෝ ජනවාර්ගික නැටුම(ethnic dance) යන්න භාවිත වේ.

සාම්ප‍්‍රදායික සිංහල නැටුම් ද ජන සම්ප‍්‍රදායෙහි ලා සැලකීමට බොහෝ ලේඛකයින් පෙලඹ ඇති බව පෙනේ. පූර්වෝක්ත පරිදි වැඩවසම් සමාජයන්හි පැවති ජන සම්ප‍්‍රදායයන්හි සාක්ෂරතාවෙන් තොර වූ ජනයාගේ කලාව හැඳින්වූ යෙදුමෙන් සිංහල නාට්‍ය හෝ නැටුම් හැඳින්වීම ශාස්ත‍්‍ර යුක්තියෙන් තොර වූ අවභාවිතයකි. යටත් විජිත බලපෑමත් මිෂනාරි අධ්‍යාපනයත් නිසා ඇති වූ මේ අවභාවිතය ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යයන විෂය මාලාවේ පමණක් නො ව විශ්වවිද්යාල පද්ධතියෙහි විෂය මාලාවන්ගෙන් පවා තහවුරු කර තිබීම බෙහෙවින් අශාස්ත‍්‍රීය වූ කාර්යයකි. යටත් විජිත චින්තනයට ගැති වූ මේ නිගමන නිර්දය ලෙසින් ප‍්‍රතික්ෂේප කිරීමට කාලය දැන් එලඹ ඇත. මෙහි දී ශ‍්‍රී ලංකාවහි ද වැඩවසම් ක‍්‍රමය භාවිත වූයේ ය යන මිථ්‍යා මතය ද තතහවුරු කිරීමට ඇතැම් ලේඛකයන් හා අධ්‍යාපනඥයන් විසින් උත්සාහ ගනු ලැබ ඇත.

වැඩවසම් ක‍්‍රමය වූ කලි මධ්‍යතන යුරෝපයේ පැවති දේශපාලන අර්ථ ක‍්‍රමයකි. වර්තමානයේ බොහෝ දෙනා එම අර්ථ ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ද ක‍්‍රියාත්මක වූ බවට පිළිගනිති. එම පිළිගැනීම තදබල මිථ්‍යාවකි. පූර්වෝක්ත පිළිගැනීම නිසා ශ‍්‍රී ලංකාවේ ඇතැම් සංස්කෘතිකාංග පිළිබඳ ඇගයීමේ දී සාවද්‍ය මතවාද බිහි ව තිබේ.

ජන සම්ප‍්‍රදායෙහි දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ නිර්මාණ කාර්යෙහි යෙදෙන තැනැත්තා සාක්ෂරතාවෙන් තොර වීම නිසා එම නිර්මාණය කිරීමෙහි දී එය ලිඛිත සාහිත්‍යයක් ලෙසින් බිහි නො වීමයි. ඉන් අනතුරුව එම නිර්මාණය කටවහරෙන් පැවතීම සම්ප‍්‍රදාය වන්නේ ය. එබැවින් ජන සාම්ප‍්‍රදායික උරුමයන් ඉතා සරල වන්නේ ය. මේ හේතුවෙන් එය ඊළඟ පරම්පරාවට නිතැතින් ම ලබාගත හැකි වේ. ඒ සඳහා ගුරු ආශ‍්‍රය අවශ්‍ය වන්නේ නැත. නිදර්ශන වශයෙන් ආදිවාසීන්ගේ නැටුම් සලකා බලන්න. ඔවුන් තම උරුමය ලබා ගන්නේ ගුරු ආශ‍්‍රයෙන් නො ව වැඩිහිටියන් අනුකරණයෙනි. ඒ සඳහා ශාස්ත්රීය දැනුමක් අවශ්‍ය නො වේ.

එහෙත් පූර්වෝක්ත සිංහල නාට්‍ය සම්ප‍්‍රදායයන් ශාස්ත්රීය නර්තන හා සංගීත පදනමක් මත නිර්මාණය වූ ඒවා ය. තත් නාට්‍ය විශේෂයෙන් කෝලම් සහ කවිනළු ගුරූපදේශ සහිත ව ශාස්ත්රීය පදනමක සිට උගත යුතු වන්නේ ය. එසේ ම සාහිත්‍යාත්මක වැදගත්කමකින් යුතු ලිඛිත නාට්‍ය පෙළක් ද මෙහි දී දැකගත හැකි ය. සාක්ෂරතාවෙන් තොර ජන සමාජයක නාට්‍ය පිටපතක් බිහි විය නො හැකි ය. නාට්‍යයක් නිර්මාණය වීම සඳහා නාට්‍ය පිටපතක් අනිවාර්ය වන්නේ ය. මෙයින් පැහැදිලි වන්නේ වැඩවසම් සමාජයක වහලුන් හෙවත් ප‍්‍රවේණි දාසයන් ආශ‍්‍රයෙහි නාට්‍ය කලාවක් බිහි නො වන බව ය. එසේ නම් ජන නාට්‍ය ලෙසින් නම් කළ හැකි සෞන්දර්ය කලා විශේෂයක් තිබිය නොහැකි ය.

ශ‍්‍රී ලංකාවේ කිසිම දිනෙක වැඩවසම් පාලන තන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක නොවිණි. ප‍්‍රවේණි දාස ක‍්‍රමයක් හෝ වහල් සමාජයක් ද නො විණ. සාක්ෂරතාවෙන් යුතු ජන සමාජයක් ඉතිහාසය පුරා ක‍්‍රියාත්මක වූ අතර ප‍්‍රභූවරයාගේ සිට සමාජයේ පහළ ම ස්තරයේ සිටි සාමාන්‍ය සාමාජිකයා දක්වා ම සාක්ෂරතාව ලැබීමට අයිතියක් තිබිණ. එබැවින් මේ නාට්‍ය සම්ප‍්‍රදායයන් විදග්ධ සමාජයේ බිහි වූ නාට්‍ය ගණයෙහි ලා සැලකිය යුතු අතර, ඒවා ජන සම්ප‍්‍රදායෙහි ලා සැලකීම ශාස්ත‍්‍රීය යුක්තියෙන් තොර වූවකි.

කවිනළු හෙවත් නාඩගම (මේ ලේඛකයා නාඩගම යන යෙදීම තත් නාට්‍ය හැඳීන්වීම සඳහා භාවිත නොකරයි. කුමක් නිසා ද යත් මේ නාට්‍ය නිර්මාණය කළ කිසිදු නාට්‍ය රචකයෙක් තම නාට්‍ය හැඳින්වීම සඳහා නාඩගම යන පදය භාවිත නොකළ හෙයිනි.) කවිනළුව, කෝලම හෝ සොකරි නාටකය අලිඛිත නිර්මාණ නො වන අතර මුද්‍රිත පිටු දෙතුන්සියයකින් යුක්ත වන අතර පිලිප්පු සිඤ්ඤෝ වැනි රචකයින්ගේ නිර්මාණ හැරුණුු විට බොහෝ කව්නළු රචනා කාව්‍යමය ගුණයෙන් යුතු වන අතර දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය භාවිතයෙන් අදාළ ගී තනු නිර්මාණය කරතිබීමත්, 19වන සිය වසෙහි කවිනළු රචනයෙහි යෙදුණු බොහෝ ලේඛකයෝ සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන්හි හසළ දැනුමකින් යුතු එමෙන්ම ඇතමෙක් ඉංග‍්‍රිසි දැනුමෙන් ද යුක්ත වූ යටත් විජිත නිලධාරීන් වීම ද කවිනළුවට ජන මුද්‍රාව තැබීමේ යුක්තියක් නොවන බව පැහැදිලි කරයි.

අප විසින් පූර්වයෙන් සඳහන් කරන ලද ජනනැටුමෙහි කිසිදු ලක්ෂණයක් කවිනළුව ඇතුළු සිංහල සාම්ප‍්‍රදායික රංගනයන්හි අන්තර්ගත නො වන අතර එහි භාවිත නර්තනය ද භරතමුනි අනුදත් නර්තන පාදක කොට ගෙන නිර්මිත වූ ඒවා ය. එබැවින් කවිනළු ආදී සිංහල රංගන විදග්ධ සම්ප‍්‍රදායට අයත් වූ නිර්මාණ ලෙසින් ම හැඳින්වීම ශාස්ත‍්‍ර යුක්තිය වන්නේ ය.

තවද සරච්චන්ද්‍ර ඇදුරු තුමාගේ පිළිගැනීම අනුව කවිනළුව මිෂනාරි ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වන්නේ නම් (මේ ලේඛකයා එම මතය තරයේ ප‍්‍රතික්ෂේප කරයි) අදාළ මිෂනාරීහු සාක්ෂරතාවෙන් තොර වූවන් නො වන බැවින් ද ඔවුන් නාගරික සංස්කෘතියට අයත් විද්වත් ජනයා බැවින් ද එවැන්නන් අතින් එතුමන් විසින් ගැමි හෝ ජන මුද්‍රාවෙන් හඳුන්වා ඇති අවිදග්ධ රචනා බිහි වීම හෝ එයට අනුග‍්‍රහ දැක්වීමක් සිදුවිය හැකිදැයි කල්පනා වූයේ නම් මෙවැනි සාවද්ය නිගමනයකට සරච්චන්ද්‍ර මහාචාර්යතුමා නො එලඹෙනු ඇත. මක් නිසා ද යත් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ උපකල්පනය තමන් අතින් ම නිශේධනයට ලක්වෙන බැවිනි.

මහාචාර්ය ගාමිණී දෑළ බණ්ඩාර

Posted in කාලීන සංවාද | Comments Off on සොකරි, කෝලම්, කවිනළු හෙවත් නාඩගම් සහ ජන නාට්‍ය මිථ්‍යාව

අවදිවන්න.

අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක ලිඛිත ඉතිහාසයක් ශ‍්‍රී ලංකාව සතු ව පවති.  දීපවංස, මහාවංස ආදි වංස කථා ඉදිරිපත් කෙරෙන්නේ ලක්දිව් වාසීන්ගේ ඒ ඉතිහාස කථාව යි.  නොයෙක් ජාතීන්ගේ විවිධ සම්බන්ධතා පිළිබඳ ව එහි දී දැකගත හැකි වුවත් එයින් වඩාත් අවධාරණය වන්නේ සිංහල ජාතියේ උරුමය පිළිබඳ කථාන්තරය යි.  සිංහලයාගේ ඉතිහාසය පමණට ම සිංහල භාෂාවේ ඉතිහාසය ද පැරණි වන්නේ ය.  භාෂාවේ ඉතිහාසයේ තරමට ආසන්න සාහිත්‍යය ඉතිහාසයක් ද සිංහලයා සතු ව ඇත.

සාහිත්‍යයක් නොමැති වූ විට භාෂාවක් නොපවත්නේ ය යන ධර්මතාව මත සිට සලකා බලන කල්හි වර්තමානයේ සිංහල භාෂාවේ සහ සාහිත්‍යයේ චිරජීවනයට බාධා මතුවෙමින් පවත්නා බව අපගේ වැටහීම යි.  එම බාධක පිළිබඳ කෙටි පහැදිලි කිරිමක් සහ එයින් මිදීමට ඇති මාර්ග පිළිබඳ පැහැදිලි කිරීම මේ ලේඛනයේ අභිපේ‍්‍රථාර්ථය වන්නේ ය.

මිහිඳු මාහිමියන් විසින් ශ‍්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ආගම පමණක් නො ව භාෂා සාහිත්‍යය ද භික්ෂූන් වහන්සේගේ භාරයෙහි ආරක්ෂා වෙමින් වර්ධනය වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වේ.  භික්ෂූන් වහන්සේගේ සහ ගිහියන්ගේ භාෂා ශාස්ත‍්‍රීය සේවාවන් සඳහා අපගේ රාජ්‍ය පාලකයින්ගෙන් නොමඳ අනුග‍්‍රහයක් ලැබිණ. රාජානුග‍්‍රහය නොලැබුණු අවස්ථාවන්හි ආගම පමණක් නො ව භාෂා සාහිත්‍යය ද පිරිහී ගිය ආකාරය ලක් ඉතිහාසයෙහි විවිධ වකවානුවල දී දැකගත හැකි ය.  දේශීය මෙන් ම විදේශීය බලපෑම් මත සිංහල භාෂා සාහිත්‍යයට ඇති වූ ව්‍යසනකාරි අවස්ථා අනුරාධපුර, පොළොන්නරු සීතාවක හා නුවර රාජ්‍ය සමයන්හි දී ඇති වූ ආකාරය මෙවැනි ව්‍යසනයන්ට නිදර්ශන වෙයි.

සිංහල සාහිත්‍ය වංශයේ විශිෂ්ට නිර්මාණ බිහි වූ අවධීන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනීයන වැදගත් ම කරුණක් වන්නේ තත් යුග දේශපාලන වශයෙන් ස්ථාවර ව හා ආර්ථික වශයෙන් සමෘද්ධි සම්පන්න ව පැවති බව යි.  එවන් අවධීන්හි රාජ්‍ය පාලනයෙහි යෙදුණු නරපතිහූ භාෂා සාහිත්‍ය ශාස්ත‍්‍රාදියෙහි උන්නතිය සඳහා  මනා අනුග‍්‍රහයක් දැක්වූහ.

සාහිත්‍යකරණයට රාජ්‍ය නායකයින් ඍජු ව ම මැදිහත් වූ අවස්ථා ඉතිහාසයේ විරල නො වේ.  අනුරාධපුර සමයේ සිට සිංහල රාජ්‍ය අවසානය දක්වා මේ සඳහා අපට සාධක දැකගත හැකි ය.  නව වන සිවසෙහි ලියැවුණු සියබස්ලකර සංස්කෘත අලංකාරවාදියකු වන වන දණ්ඞී නම් ආචාර්ය වරයාගේ කාව්‍යාදර්ශය අනුව යමින් කරන ලද නිර්මාණයකි.  මෙය සේන සලමෙන් රජතුමාගේ කෘතියකි.  ඉන් අනතුරු ව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අබාසලමෙවන් කසුබ් (පස් වන කාශ්‍යප) මහරජතුමන් අතින්  ධම්පියා අටුවා ගැටපදය ලියැවිණි.  දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජතුමන් අතින් සිංහලයේ විශිෂ්ට තම මහාකව්‍ය වූ කව්සිළුමිණි කුසදාව  නිර්මාණය විය.  එපමණක් නො ව සන්‍ය පොත් අතර ප‍්‍රමුඛස්ථානය ගත් විසුද්ධි මාර්ග මහා සන්‍ය ද මෙතුමාගේ කෘතියකි.  කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුරයේ හය වැනි සිරිපැරකුම්බා රජතුමා විසින් නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝණ්ඩුව නම් වූ කෝෂ ග‍්‍රන්ථය ලියූ අතර එතුමාගේ දියණිය වූ උලකුඩය දේවියගේ ස්වාමියා වූ නන්නූර්තුන් මිණිසන්නස් මැති විසින් නාමාවලිය නම් වූ කෝෂ ග‍්‍රන්ථය කරන ලදි.  අසදිසදා කව මහනුවර සමයේ රජ කළ ශබ්ද ශාස්ත‍්‍ර විෂයෙහි දක්ෂයකු වූ රාජාධි රාජසිංහ රජතුමාගේ කෘතියකි.

රාජකීයයන් මෙසේ සාහිත්‍යකරණයෙහි දෙමින් භාෂා ශාස්ත‍්‍ර විෂයෙහි දායක වූ අතර සාහිත්‍යකරණයෙහි යෙදුණු වියතුන් කෙරෙහි වූ රාජානුග‍්‍රහය ද සාහිත්‍යකරණයෙහි පිටුබලයක් විය.  පොළොන්නරුවේ ලීලාවති රැජනගේ රාජ්‍ය සමය සාහිත්‍ය උන්නතියට අනුග‍්‍රහය දැක්වූ සමයෙකි.  එකල්හි ලියැවුණු සසදාවතෙහි මෙසේ සඳහන් වන්නේ එබැවිනි.

කළ ලො සසුන් වැඩ – ලීලාවතී හිමි සඳ
පළකළ දහම් රජසිරි – මවැටුම්හි පිටුබලවී

(ලො සසුන් වැඩකළ ලීලාවතී රැජිනිය පළකළ දහම් රජසිරිය මාගේ කාව්‍යකරණයට පිටුබල විය.)

මයුරපාද පිරිවන්පති බුද්ධපුත‍්‍ර මාහිමියෝ පූජාවලිය නිර්මාණය කිරීමෙහි මෙහෙය වුණු එක් කරුණක් වන්නේ ද්විතීය පරාක‍්‍රමබාහු නම් නරපතිහට ම අනුශාසනා පිණිස බව දක්වති.  එය ලියැවුණේ දෙවප‍්‍රතිජ අමාත්‍යවරයා නොයෙක් වර කළ ආරාධනයෙනි.  සතර වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ මෙහෙය වීම මත කුරුණැගපුර යුගයේ දී පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලියවිණි.  දළදා සිරිත ද ලියැවුණේ එතුමාගේ අදහසක් අනුව ය.  විල්ගම්මුල මහා ස්මාමීන් වහන්සේ විසින් සිංහල බෝධි වංසය හා අනාගත වංසය  ලියන ලද්දේ ද මේ රජතුමාගේ ආරාධනයෙනි.  තොටගමුවේ ශ‍්‍රී රාහුල මාහිමියෝ උලකුඩය දේවියගේ ආරාධනයෙන් කාව්‍යසේකරය ලිවූහ.  ශ‍්‍රී විජය රාජසිංහ රජතුමන්ගේ ආරාධනය නිසා වැලිවිටියේ අසරණ සරණ ශ‍්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ අතින් සාරාර්ථදීපනී (සතරබණවර සන්නනය) ලියැවිණි.

ඉහතින් සඳහන් කරන ලද්දේ අතීතයේ දී අප සිංහල රාෂ්ට‍්‍ර පාලකයින්ගෙන් සිංහල භාෂා ශාස්ත්‍රෝන්නතිය සඳහා සිදු වූ සේවාවන්ගෙන් කැපී පෙනෙන අවස්ථා කිහිපයකි.  මෙයින් අපට පෙනී යන්නේ අතීතයේ වූ සාහිත්‍ය දියුණුවට රාජ්‍ය අනුග‍්‍රහය කෙතරම් ලැබුණේ ද යන්න ය.

පෘතුගීසි හා ලන්දේසි යටත් විජිතවාදීන්ගේ පීඩනයට හසුව ලක්දිව මුහුදුබඩ පළාත් වර්ෂ තුන්සියයක පමණ කාලයක් ද ඉංග‍්‍රීසින්ට යටත් ව මුළු දිවයින ම අවුරදු එකසියපණහක පමණ කාලයක් ද පැවතිය ද සිංහලයා තමන්ගේ අනන්‍යතාව නැති කර නොගත් ආකාරය දහනව වන සියවසේ මැද භාගයෙන් පසුව වර්ධනය වූ ජාතික ව්‍යාපාරයෙන් පැහැදිලි වන්නේ ය.

යුනෙස්කෝ ආයතනය විසින් පූර්වකථනය කර ඇති ආකාරයට 21 වන සියවස අවසානයේ මේ මිහිතලයෙන් වඳ ව යන ජන කොට්ඨාසයන් අතරට සිංහල ජාතිය ද ඇතුළත් කර ඇත.  මේ පූර්ව කථනය සත්‍යයක් බවට පත් වීමට 21 වන ශත වර්ෂය අවසන් වනතෙක් සිටිය යුතු නැතැයි අපට හැඟී යන ආකාරයේ පෙරනිමිති වර්තමානයේ පහළ වෙමින් පවතී.  බටහිර ආක‍්‍රමණිකයන් හමුවේ වර්ෂ හාරසිය පණහක පමණ කාලයක  හානියට පත් කළ නොහැකි වූ සිංහල භාෂා සාහිත්‍ය නිදහස් ස්වෛරී ශ‍්‍රී ලංකාවේ පසුගිය අර්ධ ශතවර්ෂයක කාලය ඇතුළත පරිහානියට පැමිණෙමින් ඇති ආකාරය කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ව ඇත.

ලෝකයේ දියුණු භාෂා සාහිත්‍යයක් ඇති සෑම රටක ම තම භාෂාව හා සාහිත්‍යය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ව පවති.  භාෂාවේ වර්ධනය ඇති වන්නේ සාහිත්‍ය අනුසාරයෙනි.  විවිධ ලේඛකයන් විසින් නිර්මාණය කරනු ලබන විවිධ සාහිත්‍ය කෘතීන්ගෙන් භාෂාව පෝෂණය වේ.  තත් සාහිත්‍ය කෘති පරිශීලනයෙන් භාෂාව ග‍්‍රහණය කරගැනීමට විද්‍යාර්ථීන්ට හැකියාව ලැබේ.  එසේ වුව ද අවාසනාවකට මෙන් අප රටෙහි භාෂා සාහිත්‍ය අධ්‍යාපනයට එවැනි ප‍්‍රමුඛත්වයක් ලැබී නැති බව පෙනී යයි.   අධිරාජ්‍යවාදී පාලන යුගයෙහි දී පවා අනිවාර්ය පාසල් විෂයයක් ව පැවති සාහිත්‍ය විෂය දැන් පාසල් පද්ධතියෙන් ඉවත් ව අවුරුදු හතළිස් හතරකට ආසන්න කාලයක් ගත ව ඇත.  කෙතරම් හඬ නැගුව ද එය නැවත පාසල් පද්ධතියට ඵලදායි ලෙසින් එක් කිරීමට කිසිදු අධ්‍යාපන බලධාරියෙක් හෝ දේශපාලන බලධාරියෙකු හෝ යොමු වී නැත.

අප පාසල් යන අධියේ එවකට හැඳින්වූ පරිදි පළමු වැනි පන්තියේ සිට අතිරේක සාහිත්‍ය පතපොත පරිශීලනයට පාසල් සිසුනට අවස්ථාව ලබා දී තිබිණ.  එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරණතුංග වැනි සම්භාවනීය ලේඛකයන්ගේ පද්‍ය රසය, කව්මිණ, කව්මුතු, හත්පණ, හීන්සැරය, මඟුල් කෑම වැනි කෘති ඉතා කැමැත්තනේ කියවීමු; අධ්‍යයනය කළෙමු; රස වින්දෙමු.

එසේ වුව ද ආණ්ඩුව සහ ප්‍රකාශක සමාගමක් අතර ඇතිවූ හබයකින් අනතුරුව ආණ්ඩුව විසින් පාසල් පොත් ලිවීම ආරම්භ කරනු ලැබීමෙන් අනතුරු ව එවැනි රසවත් සාහිත්‍ය නිර්මාණ හැදෑරීමට පසුකාලීන දරු දැරියනට අවස්ථාව නොලැබී ගියේ පෞද්ගලික අංශය විසින් ප‍්‍රසිද්ධ කරන ලද පාසල් පොත් වෙනුවට රාජ්‍ය අනුග‍්‍රහයෙන් පාසල් පොත් සැපයීමට අවතීර්ණ වීම නිසා ය.  මෙහි දී රජය විසින් සපයන ලද පාසල් පොත් රාජ්‍ය නිලධාරීන් විසින් තම රාකාරි පදනමින් සකස් කරන ලද හෙයින් ඒවා ගුණාත්මක බවෙන් අඩු විය.  පෞද්ගලික ව්‍යවසායකයන් විසින් දක්ෂ, ප‍්‍රවීණ නිර්මාණාත්මක ලේඛකයන් අතින් තරගකාරී අන්දමින් නිර්මාණය කරන ලද භාෂාව හා සහිත්‍ය සඳහා වූ පාසල් පොත් වෙනුවට විවිධ සාහිත්‍ය කෘතින්ගෙන් උපුටාගත් නිරස උද්ධෘත සහිත සාහිත්‍ය පොත් පෙළක් පාසල් පද්ධතියට ඇතුළත් විය.  අතිරේක කියවීම් ඉබේ ම අහෝසි විය.  රජ්‍ය මැදිහත් වීමෙන් සිසුන්ට සිදුවූයේ විභාග සමත් වීම සඳහා තිත්ත කසාය බොන්නා සේ මේ නිරස පාසල් පොත් පරිශීලනය කිරීම ය.

මෙලෙසින් පාසල් පද්ධතියේ වූ සිංහල භාෂාව සහ සාහිත්‍ය පොත් ගුණාත්මක බවෙන් හා රසවත් බවෙන් හීන වෙමින් පවතිද්දී ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා සේ 1971 අප‍්‍රියෙල් මාසයේ ඇති වූ ජනතා විමුක්ති පෙරමුණේ ත‍්‍රාසවාදී නැඟී සිටීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් එවක වූ ආණ්ඩුව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයකට අවතීර්ණ විය.  තත් ත‍්‍රාස ව්‍යාපාරයෙහි කැපී පෙනෙන නායකත්වයක් දෙනු ලැබුයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය.  එයිනුත් කැපීපෙනෙන ලක්ෂණය වූයේ කලා විෂය හැදෑරුවන් එහි ප‍්‍රමුඛත්වය ගැනීම යි.  මෙවැනි විරෝධතාවකට හේතු වූයේ තරුණ අසහනය බව බොහෝ දෙනෙකුගේ මතය විය.  එයට හේතු සොයා බැලීමට පත් කළ විද්වතුන්ගේ මතය වූයේ පැවති අධ්‍යාපන ක‍්‍රමයේ දුබලතා නිසා එය සිදු වූ බව ය.

ත‍්‍රාසවාදයට හේතු වූ සාමාජ ආර්ථික කරුණුවලට පිළියම් යෙදීම කෙසේ වෙතත් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් අවස්ථාවාදීන්ගේ දීර්ඝ කාලීන පටු අවශ්‍යතාවක් ඉටු කරගැනීමට මෙයින් අවස්ථාව සැලසිණි.  කලා විෂයනට මුලිකත්වය දෙන අධ්‍යාපනය වෙනුවට වෘත්තීය අධ්‍යාපනයකට සිසුන් යොමු කළ යුතු යැයි තීරණය විය.  ඒ සඳහා ප‍්‍රාග් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබිණ.

මෙහි දී අඩු පහසුකම් ඇති පාසල් සිසු සිසුවියන් කෘෂි කර්මාන්තය, ගඩොල් කැපීම, පෙදරේරු කර්මාන්තය හෝ වඩු කර්මාන්තය වැනි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වූ අතර පහසුකම් ඇති පාසල් සිසු සිසුවියන් ඉලෙක්ට්‍රොනික්, මොටර් යාන්ත‍්‍රික පුහුණුව වැනි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වූයේ දේශපාලන බලධාරීන්ගේ  දරුවන් විදේශ විශ්විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය දී ය.

මෙසේ ප‍්‍රාග් වෘත්තීය විෂයයන් සඳහා පාසල් කාලසටහනෙහි අවකාශ ලබාගත්තේ එතෙක් මේ රටෙහි අනාගත පරම්පරාව සමාජයට වැඩදායී සංවේදී පුද්ගලන් පිරිසක් බවට පත් කිරීමට ආධාර වූ සාහිත්‍ය සහ ඉතිහාසය විෂයයන් පාසල් නිර්දේශ පත‍්‍රයෙන් අපවත්කර දැමීමෙනි.  මෙය ශ‍්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සිදු වූ අමනෝඥ ම සිදුවීම වන්නේ ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ය.  එනම් මේ තරුණ අසහනයට හේතු සෙවූවන් විසින් ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයයන් පාසල් පද්ධතියෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ මෙවැනි විෂයයන් ඉගැන්වීමෙන් නැවත අසහනයෙන් යුතු තරුණ පිරිසක් ඇතිවිය හැකි බව යි.  20 වැනි සියවසේ කරන ලද ඇස් රතු වන ලොකු ම විහිළුව මෙය වන්නේ ය.

වසර දහස් ගණනක් මුළුල්ලේ මෙරට ජනතාව ශිෂ්ටසම්පන්න ගුණගරුක සංවේදී සමාජයකට හුරු පුරුදු කළ සාහිත්‍ය සමාජ අසහනය ඇති කරන්නක් ලෙස අර්ථ ගැන්වීම සමාව දිය නොහැකි වරදක් වන්නේ ය.  සිංහල සාහිත්‍ය පදනම් වූයේ සකල ලෝකයාට ශාන්තිය උදාකර දුන් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් අඩංගු ත‍්‍රිපිටකය පදනම් කොටගෙන ය.  බුදුදහමින් ඉගැන්වෙන්නේ දයාව අනුකම්පාව මෛත‍්‍රිය වැනි උතුම් මානුෂීය ගුණාංගයන් ය.  එවැනි ඉගැන්වීම් ඇතුළත් සාහිත්‍යයක් අසහනයට හේතුවක් ලෙස සලකා පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් සේ යමෙක් හඳුන්වා දුනහොත් අපට එයට එකඟ වීමට සිදු නො වන්නේ ද?   ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ද සඳහන් කළ යුතු වන්නේ මෙවැනි ම ප‍්‍රකාශයකි.  ලක්දිව ඉතිහාසය වනාහි මහාවිහාරයේ ඉතිහාසයයි; බුදු දහමේ ඉතිහාසයයි;  සදාචාරවත් ජනතාවක් බිහි කිරීම සඳහා භාවිතයට ගත හැකි ඉතිහාසය යි.  එය ද අසහනයට හේතුවක් ලෙසින් ඉවත් කර දැමීම සමාජද්‍රෝහි ක‍්‍රියාවක් ලෙසින් යමෙක් හැඳින්වුවහොත් එයට එකඟ නො වී සිටීමට අපට නොහැකි ය.  මේ තීරණය ගැනීමේදී ප්‍රමුඛත්වය ගත්තේ සිංහල හෝ බෞද්ධ අධ්‍යාපන අමාත්‍යවරයෙක් විසින් නොවේ. අසහන කොමිසමෙහි සභාපති වූයේ සමාජවාදියෙකු ලෙසින් පිළිගැනුණ අන්‍යාගමික මහාචාර්යවරායකි.

ඉන් අනතුරු ව ඇති වූ ආණ්ඩු පෙරළියෙන් අනතුරු ව තත් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වෙනස් වී ප‍්‍රාග් වෘත්තීය අධ්‍යාපනය අහෝසි වී ගිය ද ඒ වෙනුවෙන් අපවත් කර දැමූ සාහිත්‍යය හෝ ඉතිහාසය නැවත වාරයක් පාසල් පද්ධතියට එක් නො විණි.

අප විසින් පූර්වයෙහි සඳහන් කළ පරිදි සාහිත්‍ය සහ ඉතිහාස විෂයයන් සමාජයක සදාචාරය හා සංවේදී බව ඇති කරන අත්‍යවශ්‍ය විෂය වන්නේ ය.  ලෝකයේ දියුණු අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි මේ විෂයයන් අනිවාර්යයෙන් තම සිසු සිසුවියන් සඳහා ඉගැන්වේ.  මේ විෂයයන් හැදෑරීමෙන් තර්කානුකූල ව සිතීමට අවකාශ ලැබෙන්නේ ය; යථාර්ථය ග‍්‍රහණයේ දී මේ විෂය ප‍්‍රමුඛත්වයක් ගන්නේ ය.  එසේ නම් 1971 සිදු වූ ත‍්‍රාසවාදී ව්‍යාපාරයට හේතු සෙවූ එවක ආණ්ඩුව සාහිත්‍ය හා ඉතිහාසය විෂය පාසලෙන් පිටමං කිරීමෙන් බලා පොරොත්තු වන්ට ඇත්තේ යථාර්ථාවබෝධයෙන් තොර ජන සමාජයක් බිහි කිරීම විය යුතු ය. නොඑසේ නම් තමන්ට රිසි පරිදි හැසිර විය හැකි පාලිතයන් පිරිසක් බිහි කරගැනීම විය යුතු ය.

පරමාර්ථය කුමක් වුව ද තත් අමනොඥ ක‍්‍රියාවලියේ අනිසි ප‍්‍රතිඵල අපට ඇස්පනාපිට දශක දෙකක් ගතවන්නට මත්තෙන් දැකගන්නට හැකි විය.  අදාළ පුද්ගලයනට 71 දී සාපරාධි කටයුතු සඳහා තරුණයන් මෙහෙයවා ගැනීමට ඇකි වූයේ සාපේක්ෂ වශයෙන් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි.    එසේ වුව ද 80 දශකයේ ඇති වූ ත‍්‍රාසවාදී කටයුතු සඳහා වෛද්‍ය, ඉන්ජිනේරු, විද්‍යා, වාණිජ විෂයයන් හැදෑරු තරුණ පිරිස ද විෂය විශේෂයකින් තොර ව එක්ව සිටියහ.  එයින් පැහැදිලි වන කරුණ වන්නේ සාහිත්‍ය කලාදී විෂයයන් හැදෑරීමෙන් තරුණයන් අසහනයට පත් බව නො ව විරැකියාව හා සමාජ අසාධාරණය නිසා තරුණ පිරිස් අසහනයට පත් ව සිටි ආකාරය යි.  80 දශකය අවසාන වන විට සෑම ක්ෂේත‍්‍රයක ම තරුණයන් කඩාකප්පල් කාරි ක‍්‍රියාවකට යොදවා ගැනීමට අවස්ථාවාදීන්ට හැකි වූයේ තර්ක බුද්ධියෙන් හීන වූ සංවේදීත්වයෙන් තොර පරම්පරාවක් සමාජයට අවතීර්ණ කිරීමට අධ්‍යාපන ක‍්‍රමයට හැකි වූ බැවිනි.  ජාතියක චින්තනය මොට වූ විට අවස්ථාවාදීන්ට රටක ජනතාව තම හිතුමතයේ මෙහෙය වීමට අවස්ථාව සැලසෙන බව අප මෙහි දී අවබෝධ කටයුතු ය.  මෙය සිංහලයාට පමණක් සීමා වූවක් නො වේ.  ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව ද මුහුණදුන්නේ මේ අවාසනාවන්ත ඉරණමට ය.

ඉංග්‍රීසි අධිරාජ්‍ය පාලන සමයෙහි දී අන්ධානුකරණයෙන් ඉංග්‍රිසිය පසුපස හඹාගිය ස්වදේශිකයන් දුටු ඇතැම් අධිරාජ්‍ය බලධාරීන් විසින් ස්වදේශිකයනට ස්වකීය මෘතෘභාෂාව හා සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලද ආකාරය ඉතිහාසයෙන් අපට දැකගත හැකිය.  එකල එසේ වුවද වර්තමානයේ අවාසනාවන්ත ලෙසින් අප රටෙහි අවස්ථාවාදී දේශපාලනය සියල්ල කණපිට හරවා ඇත.

වර්තමානයේ භාෂාධ්‍යයනය අනිවාර්ය වන්නේ සාමාන්‍ය පෙළ පරීක්ෂණය දක්වා පමණි. ඉන් අනතුරු ව භාෂා අධ්‍යයනය අනවශ්‍ය අංගයක් ව පවති.  කලා මාධ්‍යයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන්නා වූ විද්‍යාර්ථීන් විසින් සිංහල විෂය කෙරෙහි නැඹුරුවක් දැක්වුව ද වර්තමානයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නිසා තත් විෂය කෙරෙහි තිබූ ආකාර්ෂණය ද කෙමෙන් අඩුවෙමින් පවත්නා අතර ඉදිරි අවුරුදු දහය  ඇතුළත විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිංහල හැදෑරීමට ශිෂ්‍යයින් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයක් වනු ඇත.

වර්තමානයේ පවත්නා තත්ත්වය අනුව ජාතික විද්‍යා පීඨයන්හි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් විසින් හදාරනු ලබන සාහිත්‍ය නිර්දේශය ඉතා දුර්වල තත්ත්වයක පවත්නා බැවින් දැනට පාසල් පද්ධතියෙහි සාහිත්‍ය විෂය ඉගැන්වීමෙහි හැකියාව ඇති ගුරුවරුන්ගේ හිඟය අනාගතයෙහි දී සිංහල භාෂාව ඉගැන්වීම උදෙසා ද බලපෑම අවකාශ ඇති විය හැකි බවට අනතුරු අඟවන්නෙමු.

අධ්‍යාපනය සඳහා ඉංගිරිසිය අද අත්‍යවශ්‍ය මාධ්‍යයක් බව අවිවාදිත ය.  එබැවින් ඉංගිරිසි අධ්‍යාපනය නැංවිය යුතු වන්නේ ම ය.  මේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පළමු වසර පටන් ඉංගිරිසි අධ්‍යාපනය අපගේ අධ්‍යපන පද්ධතියට හඳුන්වා දී ඇත.  එසේ වුව ද ඉංගිරිසි අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පුහුණු ගුරු ශ‍්‍රමය ඇත්තේ ඉතා අල්ප වශයෙනි.  මව්බස උගන්වන ගුරුවරුන්ගේ සහයෙන් ඉංගිරිසි ඉගැන්වීමට යාමෙන් සිදුවන්නේ අනර්ථයකි.  එසේ ම ඉංගිරිසි බස ඉගැන්වීම සඳහා භාවිත වන ක‍්‍රමවේදය ද මව්බසෙහි වර්ධනයට මෙන් ම දරුවන්ගේ නිර්මාණාත්මක හැකියා වර්ධනයට හානියකි.  මව්බස ඇතුළු තවත් එක් කාල ඡේදයක් හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවක ම දරුවන් සමග ඉංගිරිසිය භාවිත කිරීමට ගුරුවරුනට උපදෙස් දී ඇත.  පළමු අවුරුද්ද ඇතුළත ඉංගිරිසි වචන 250ක් ශිෂ්‍යයාට හඳුන්වා දිය යුතු ව ඇත.  අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව දරුවකුගේ නිර්මාණාත්මක සක්‍යතාව වර්ධනය වන්නේ ජීවිතයේ මුල් අවුරුදු දොළහ, දහතුන ඇතුළත ය.  මෙහි දී එම සක්‍යතාව ලබා ගන්නා මාධ්‍ය වන්නේ මව්බස ය.  මෙවන් තත්ත්වයක් යටතේ මව්බස වර්ධනය වීමට ඇති අවකාශය අඩු වන්නේ ය.  එයින් සිදු වන්නේ සිසුන්ගේ නිර්මාණ හැකියාව හීන වීම ය.  නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නියාමක ව්‍යාපෘතියක් ලෙසින් මෙය ක‍්‍රියත්මක වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ නිර්මාණ හැකියාව අදාළ කාල වකවානුව ඇතුළත සියයට හතළිහකින් අඩු ව ඇති බවක් යුනෙස්කෝ සංවිධානය හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් කරන ලද විමර්ශනයක දී හෙළි ව ඇති බව පුවත්පත් වාර්තාවක සඳහන් ව තිබිණ.  මේ අනුව සලකන විට වර්තමානයේ ක‍්‍රියාත්මක වෙමින් පවත්නා මව්බස හා දෙවන බස ඉගැන්වීමේ ක‍්‍රියාවලිය අහිතකර අන්දමින් අනාගත පරම්පරාවට නොබලපාන්නේ යැයි අදාළ බලධාරීන්ට දිය හැකි සහතිකයක් වේ ද?  එහෙයින් සිංහලය පමණක් නො ව මුළු ජාතියම ව්‍යසනයට පත්වන තත්ත්වයක් උද්ගත වෙමින් පවත්නේ යැයි උපකල්පනය කිරීම සාවද්‍ය වන්නේ ද?

ලෝකයේ ඉතාම දියුණු ආර්ථිකයක් හා තාක්ෂණික දියුණුවක් හිමි ජපානයේ ඉංගිරිසි අධ්‍යාපනය ආරම්භ වන්නේ පස්වැනි ශ්‍රේණියෙන් අනතුරුව ය.  සැබවින්ම මාතෘ භාෂාව රැකගනිමින් දෙවැනි බස වර්ධනය කරගැනීමට ඉන් අවකාශ සැලසෙන්නේ ය.  දියුණු රටවල සාර්ථක වූ අධ්‍යාපන ක‍්‍රමවේදයන් මගින් මෙරට අධ්‍යාපනයෙහි දුර්වලතා මග හරවා නොගතහොත නුදුරු අනාගතයේ දීම සිංහලය නැතිවයනවාට කිසිදු සැකයෙක් නැත.  අධ්‍යපනයෙහි පවත්නා දැඩි තරගකාරි ස්වභාවය නිසා ඉංගිරිසි මාධ්‍ය මගින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාග සඳහා අවකාශ සලසා දීම මේ තත්ත්වය වඩාත් උග‍්‍ර කරවන බව ද අකමැත්තෙන් වුව ද සඳහන් කිරීමට සිදු ව ඇත.

අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ භාෂා සාහිත්‍ය පරිහානිය මෙසේ පවතිද්දී අවිලෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන් සිංහල භාෂාව විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයට වර්තමානයේ ඇතැම් ජන මාධ්‍යයන් ද මහා පරිමාණයෙන් දායක වෙමින් සිටියි.  යටත් විජිත පාලන සමයේ පරාධීනත්වයෙන් ලක්වැසියන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ ප‍්‍රධාන බලවේගයක් වූයේ එදා පැවති එකම ප‍්‍රබල ජනමාධ්‍යය වූ පුවත්පත යි.  අතීතයෙහි වූ සිංහල පුවත්පත් කතුවරු මෙන් ම ඒවායේ හිමිකරුවෝ ද නිවැරදි ප‍්‍රශස්ත භාෂා මාධ්‍යයක් මගින් සන්නිවේදන කටයුතු කිරීමට ඇපකැප ව ක‍්‍රියා කළහ.  අප කුඩා අවධියේ සිංහල භාෂාව ප‍්‍රශස්ත ව ඉගෙනීම සඳහා දිණමිණ පුවත්පතෙහි කර්තෘවාක්‍ය කියවන ලෙස අපගේ ආචාර්යවරු අපට උපදෙස් දුන්හ.  ඒ පුවත්පත් කෙරෙහි වූ විශ්වාසය නිසා ය;  එහි නිවැරදි බස් වහර නිසා ය.  වර්තමානයේ විශ්වාසය බිඳී ගොසිනි;  බස් වහර ද කිව නොහැකි අන්දමින් පිරිහීමට පත් වෙමින් පවත්නා නිසා බස සකස් කරගැනීම සඳහා පුවත්වත් කියවන්නැයි සිසුන්ට උපදෙස් දීමට ද අද ගුරුවරුන්ට හැකියාවක් නැත.

වර්තමානයේ පුවත්පත් භාෂාව ද සමස්ත පිරිහීමේ අඳුරු සෙවනැලි අතර සැඟවෙමින් ඇති බව අකමැත්තෙන් වුව ද සඳහන් කළ මනා ය. භාෂා පරිණාමය පිළිබඳ ඉතා සරල කරුණු පවා තේරුම් ගැනීමට නොහැකි පුවත්පත් කතුවරුන් පවා අද දැකිය හැකි ය.  සුඛෝච්චාරණය නිසා භාෂාවේ වචන සරල වේ. කෙටි වේ.  එසේ වුව ද මේ නියාමය නොදන්නා ලේඛකයෝ කෙටි වදන් දික් කරගනිති.  අර්ථය ද විකෘති කරගනිති.  සරල උදාහරණයක් ලෙසින් නිසා යන්න නිසාවෙන් ලෙසින් විකෘති අර්ථයක් සහිත ව භාවිත කරයි.  පුරා යන්න පුරාවට ලෙසින් යොදයි.  මෙවැනි අප වචන සිංහල භාෂාවට ඇතුළත් වන්නට පටන් ගෙන ඇත්තේ විද්‍යුත් ජන මාධ්‍ය ප‍්‍රචලිත වීමෙන් අනතුරු ව ය.  ඇතැම් පුවත්පත් සමාජයේ අවලම් වැඩ කරන වුන් හඳුන්වන්නේ සුද්දෝදනලා නමින් ය.  අප සාහිත්‍යයේ සුද්ධෝදන නමින් හැඳින්වෙන්නේ සිදුහත් කුමරුන්ගේ පියාණන් පමණි.  එවන් ගෞරවණීය නාමයක් ආහාසාත්මක ව යෙදීමට තරම් පහත් තත්ත්වයකට ඇතැම් ජන මාධ්‍ය පත් ව ඇත. පට්ට යන යෙදුම භාවිත වූයේ පටටපල් බොරු වැනි අංසස්කෘතික යමක් හැඳින්වීමට හෝ පට්ට වේසී වැනි නිග්‍රහාත්මක යෙදුම් සමගය.  අද ජනමාධ්‍යයට පෙම්වතියද පට්ට ය.

විද්යුත් ජන මාධ්‍ය රාජ්‍ය සතු ව තිබූ අවධියෙහි මාධ්‍යය සදාචාරයයකින් යුක්ත ව, බස රකිමින් සංනිවේදනයෙහි යෙදුණ ද පෞද්ගලික ජන මාධ්‍ය ඇති වීමෙන් අනතුරු ව අපගේ භාෂාව සමගින් රටෙහි සදාචාරය ද නාය යාමට පටන් ගෙන ඇත්තේ ය.

යහපත් වූ සාහිත්‍යයක් සේවනය සඳහා අවශ්‍ය මග පෙන්වීම පාසල් පද්ධතියන් අපවත් ව ගිය පසු සමාජයට පිවිසි මාධ්‍යකරුවා ද මංමුලා වූවෙක් විය.  විශේෂයෙන් ම පෞද්ගලික ජන මාධ්‍ය ජනප‍්‍රියත්වය හඹා යාමේ දී අතිශයින් ම ගුණාත්වක බවින් හීන වැඩසටහන් දෝරේ ගලායමින් පවති.  බොහෝ විද්යුත් මාධ්‍යයන්හි සංනිවේදකයින්ට තම සන්නිවේදක කටයුතු සඳහා අවශ්‍ය භාෂා දැනුම ඇත්තේ ම නැති තරම් ය.  ඒ වෙනුවට ඔවුනට ඇත්තේ කිසි ම හිරිකිතයක් නැති වාචාලකම පමණි.  අද බොහෝ විද්යුත් ජන මාධ්‍ය භාෂා පාළුවන්ගේ තෝතැන්නනක් ව පවතී.  ඔවුහු තමනට රිසි පරිදි බස නසති.  ‍ෙදාඩමලූ වීමෙහි විපාක වශයෙන් එළු බෙටි නැළියක් ගිල දැමූ බමුණාගේ වග නොදත් පැරණි සාහිත්‍ය හදාරා නැති මොවුහු සෑම විට දොඩමලූ වෙති;  තම අසන්නන්ට ද දොඩමලූ වෙන්නට ආරාධනය කරති;  විටෙක තමන්ගේ රූපවාහිනී මැදිරියට පැමිණි ආරාධිතයාට අපි ඔබගේ  ඕපාදූප කථා කරමු යැයි නිග‍්‍රහ කරති.

වර්තමානයේ ඇතැම් ජන මාධ්‍යයන්හි නිවේදකයෝ සිංහල බස අදහස් ප‍්‍රකාශනයෙහි ප‍්‍රමාණවත් නොමැති යැයි සිතා හෝ නැතහොත් සිංහලය පිළිබඳ වූ තම අපරිණත බව නිසා හෝ ඉංගිරිසි වදන් ද භාවිත කරමින් සන්නිවේදනයේ යෙදෙත්.  මාධ්‍ය විශේෂඥයන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් මෙම භාෂානාශකයන්ට අගයමින් කථා කරනු අසා ඇත්තෙමි.  වරෙක රූපවාහිනියෙක අධිපතිත්වය දැරූ සිංහල භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නුගේගොඩ විජේරාම හන්දියේ තිබූ සපත්තු වෙළඳ සැලක සිංහල බස නැසූ නාම පුවරුවක් ආදර්ශයට ගෙන ඒ අනුව තම වැඩසටහන්  නවීකරණයට උපදෙස් දුන් බවක් ද අසා ඇත්තෙමු.  මෙයින් සිදුවන්නේ සිංහලයත් ඉංගිරිසියත් දෙක ම නැති වීම ය.

නුතන සන්නිවේදන මාධ්‍ය ඉතා ප‍්‍රබල ය.  යහපත් ආකාරයෙන් භාවිත කළහොත් එයින් දේශයට ශාන්තියක් උදාකර ගත හැකි ය.  එසේ වුව ද තරගකාරි බවින් යුක්ත ව අද ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය   වඳුරන් අතට දුන් දැලිපිහි මෙන් ව්‍යසනය ම ළඟා කරවමින් ඇති බව නොකියා සිටිය නොහැකි ය.  පාසලෙහි ගුරුවරයා විසින් කෙතරම් නිවැදි සිංහල ඉගැන් වුව ද ජනමාධ්‍ය කරුවන් විසින් භාවිත කරනු ලබන අපභාෂණ හා ප‍්‍රදර්ශනය කරන සාවද්‍ය පාඨ නිසාත් අවම වශයෙන් අක්ෂර වින්‍යාසය පවා නිවරදි ව පවත්වා ගෙන යාම අසීරු වී ඇත.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු ව ඇත්තේ අපගේ අධ්‍යාපන ක‍්‍රමයේ ක‍්‍රියාත්මක වෙමින් පවත්නා භාෂා සාහිත්‍ය නාශනයට තුඩු දී ඇති ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේ අවසන් හෝරාවට අප ළංව ඇති බව යි.  ජාතික ප‍්‍රතිපත්තියක් යටතේ ජන මාධ්‍ය හැසිර විය යුතු බව කිව යුත්තක් නො වන තරමට පිරිහි ගොසිනි. එබැවින් වගකිව යුත්තන්ගේ අවධානය මේ කෙරෙහි වහා යොමු නො වුන හොත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නො වනු ඇත.  එබැවින් අතීතයේ අප රජ දරුවන් භාෂා සාහිත්‍ය කෙරෙහි දැක්වූ අවධානයට සමාන ආකාරයේ අවධානයක් ආණ්ඩුව විසින් දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ ය.  ඒ විනා රාජ්‍ය අනුග‍්‍රහයෙන් වර්ෂයක් පාසා පවත්වන සාහිත්‍ය සල්පිල් හෝ සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නැති දේශපාලකයන් ලවා සාහිත්‍ය දේශන පැවැත්වීමෙන් මේ ව්‍යසනයෙන් ගැලවීමට නොහැකි බව අවධාරණය කරසිටීමට කැමැත්තෙමු.

 

Posted in කාලීන සංවාද | Leave a comment

වැඩවසම් මිථ්‍යාව සහ සිංහල සාහිත්‍ය විචාරය

ලක්දිව වැඩවසම් ආර්ථික ක්‍රමයක් වූ බවට උපකල්පනය කරමින් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති විචාරයට ලක්  කිරීම වර්තමානයේ විලාසිතාවක් බවට පත් ව ඇත.  මේ නිසා ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ සාවද්‍ය  මතවාද බිහි ව ඇත.  මේ අධ්‍යයනයෙන් අපගේ අවධානය යොමු වන්නේ  වැඩවසම් අර්ථ ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූයේ ද යන්නත් එම සංකල්පය සිංහල සාහිත්‍ය විචාරයට අවතීර්ණ වූ ආකාරයත් සලකා බැලීමත් ය.

වැඩවසම් ක‍්‍රමය – වැඩවසම් ක‍්‍රමය වූ කලි මධ්‍යතන යුරෝපයේ පැවති භූමිය පදනම් කරගත් දේශපාලන  ආර්ථික ක්‍රමයකි ක‍්‍රමයකි.    යුරෝපයේ මුල් වරට මේ අර්ථ ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රංශයේ නෝමන්වරුන්ගේ ආගමනයෙන් අනතුරු ව ය.  එය එංගලන්තයට හඳුන්වා දෙනු ලැබුවේ පළමු වැනි විලියම් රජු විසිනි.  වැඩවසම් සමාජයේ ප‍්‍රධානියා වූයේ රජු ය.  ඔහු යටතේ රදලයින්  සහ ප‍්‍රවේණි දාසයන් (වහලුන්) ලෙසින් වූ සමාජ ස්තර දෙකක් පැවතිණි.  භූමිය රජුගේ ඒකාධිකාරයට යටත් විය.  රජුගේ පරමාධිපත්‍යයට යටත් වූ භූමියේ කොටසක් ඔහු තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගත්තේ ය;  තවත් කොටසක් පල්ලියේ පැවැත්ම සඳහාත් ඉතිරිය රදලයින්ගේ යැපීම සඳහාත් වෙන් කෙරිණි.  රදලයින් සඳහා වෙන් වූ භූමිය රාජ්‍ය පාලනය සඳහා වූ රාජ්‍ය අයභාරය ලබා ගැනීමේ ආදායම් මාර්ගය ලෙසින් ද භාවිත විය.  එබැවින් රජු රදලයින් විසින් වගා කරවනු ලැබූ භූමියෙන් ලබන ආදායමෙන් කොටසක් බදු වශයෙන් ඔවුන්ගෙන් ලබා ගත්තේ ය.

රදලයින් වෙත ඉඩම් පැවරීමේ දී බලපැවැත් වූ මූලික පදනම වූයේ ප‍්‍රදානය ලබන වංශාධිපතියා රජුට හිතවත් ව සහ  විශ්වාසවන්ත භාවයෙන් යුක්ත වීමයි.  රජු රදලයින්ට ඉඩම් පැවරීමේ දී සදාකල්හි රජුට විශ්වාසවන්ත භාවයෙන් කටයුතු කරන බවට දිව්රා සපථ කරගැනීමක් සිදු විය.  රදලයින් වෙත මහා පරිමාණයෙන් පවරනු ලැබූ මේ ඉඩම් හඳුන්වනු ලැබූයේ නින්දගම් ලෙසිනි.  මෙසේ රාජ්‍ය ඉඩම් ලද්දවුන් සාමිවරුන් හෙවත් බැරන් නමින් හැඳින්විණි.   රජයෙන් ලැබුණු මේ භූමිය පිළිබඳ ව රදලයින් වෙත ඉමහත් බලයක් පැවරිණ.  ඉඩම් ලැබීමෙන් අනතුරු ව ඔවුනට අදාළ භූමියේ කටයුතු කිරීම සඳහා පරිපාලන සහ අධිකරණ බලය ද පැවරිණි.  එබැවින් මේ නින්දගම්වල බලපැවැත්වූයේ භූමිය හිමි වංශාධිපතින්ට අවේණික වූ බදු ක‍්‍රමයකි.  එසේ ම අධිකරණ හා පරිපාලනය  උදෙසා ද පැවතියේ එවැනි ම තමනට අභිමත වූ විධි ක‍්‍රමයන් ය.  මෙහි දී මූලික මානුෂික අයිතිවාසිකම් පිළිබඳ කිසි ලෙසකින් හෝ අවධානයක් යොමු වූයේ නැත.  රදලයින් විසින් රාජ්‍ය භාරය සඳහා කරන ලද බදු ගෙවීමට අමතර ව සිදු කළ යුතු විශේෂ රාජකාර්යයක් ද විය.  එනම් රාජ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යුද සේවා සැපයීම යි.  මේ යුද සේවා සැපයීමේ දී නයිට්වරුන්ගේ සහය බැරන්වරුන් වෙත ලැබිණ.

වැඩවසම් සමාජයේ බැරන්වරුන්ගෙන් අනතුරු ව ඉහළ සමාජ තත්ත්වය හිමි වූයේ නයිට්වරුන් වෙත ය.  බැරන්වරුන් තරම් ධනයෙන් ආඪ්‍ය නො වුන ද නයිට්වරුන් ද අයත් වුයේ රදල පෙළපතට ය.  බැරන්වරුන් රජුගෙන් ලබා ගත් ඉඩම් වගාව සඳහා යොමු වූයේ නයිට්වරුන් වෙතට ය.  නයිට්වරු තම අවශ්‍යතාවට යම් ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කර ඉතිරිය වහලුන් හෙවත් ප‍්‍රවේණි දාසයන් වෙත වගා කිරීම සඳහා යොමු කළහ.  නයිට්වරුන් තමන් විසින්  ලබා ගන්නා  ලද භූමිය උදෙසා කළ යුතු කාර්යයන් අතර රාජ්‍ය අවශ්‍යතා සඳහා යුද සේවා සැපයීම ප‍්‍රධාන විය.  යුද හමුදා සංවිධානය හා පාලනය පැවරී තිබුණේ නයිට්වරුන් වෙත ය. එයට අමතර ව  නයිට්වරුන් විසින් රදලයින්ගේ නින්දගමටත් ඔහුගේ කුටුම්බයටත් ආරක්ෂාව සැපයීම කළ යුතු විය.

නයිට්වරු තමන් ලැබු ඉඩම් වහලුන් ලවා වගා කර වූ අතර එයට කුලිය ලෙස වහලුන්ට ලැබුණේ ජීවත් වීම සඳහා ප‍්‍රමාණවත් වූ කුඩා ඉඩම් කැබැල්ලකි.  වහලුන් තමන් ලත් ඉඩම වෙනුවෙන් තම මුළු ජීවිත කාලය ම නයිට්වරයාට නොමිලයේ සේවය කළ යුතු විය.  වහලාට හිමිකම් හෝ අයිතිවාසිකම් කිසිවක් නො වී ය;  උපතින් ම භූමියෙහි සිරකාරයෙක් වූ බැවින් තමන් උපත ලත් නින්දගමෙන් පිට වීමට නොහැකි විය; පෞද්ගලික දේපල කිසිවකට හිමිකමක් ද නොතිබිණ;  අධ්‍යාපනය ලැබීමේ හිමිකමක් හෝ වරප‍්‍රසාදයක් ද නො වී ය;  එබැවින් ම සාක්ෂරතාවෙන් ද තොර විය;   තම ඉඩම් වගා කිරීමේ දී රදලයින් විසින් ප‍්‍රවේණි දාසයින්ගේ ශ‍්‍රමය උපරිම අන්දමින් ලබාගත් අතර, එහි දී ස්ත‍්‍රී පුරුෂ, බාල, මහලු භේදයකින් තොර ව කටයුතු කෙරිණ.  ප‍්‍රවේණි දාසයාගෙන් තමන්ට ලැබෙන සේවාව පිළිබඳ ව සෑහීමට පත් නො වන රදලයින්ට තම වහලුන්ට  දඬුවම් කිරීමේ බලය ද ලැබී තිබිණ.  දඬුවම් කිරීමෙන් සෑහීමකට පත් නො වන රදලයින්ට තම ප‍්‍රවේණි දාසයා වෙනත් අයෙකුට විකුණා දැමිය හැකි විය.  මෙලෙස ප‍්‍රවේණි දාසයා ඉඩම් හිමියාගේ දේපලෙහි කොටසක් ව පැවති බැවින් ඔහුගේ ජීවිතය අතිශයින් ම දුඃඛිත විය.

ශ‍්‍රී ලාංකේය සමාජය –

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ සලකා බැලීමේ දී භාරතීය මහා සංස්කෘතිය අඩු වැඩි වශයෙන් එයට බලපා ඇති බව පැහැදිලි වේ.  බොහෝ දුරට භාරතීය පරිපාලන ක‍්‍රමයයන්හි ආභාසය ද ලාංකිකයන් විසින් ලබන්නට ඇතැයි කිව හැකි ය.  රජතුමා රාජ්‍ය පාලනයේ දී රටේ පැවති චාරිත‍්‍ර සහ පාරම්පරික සංස්ථාවන්ට අනුකූල ව කටයුතු කළේ ය.  එහි දී බෞද්ධාගමික බලපෑම මූලික විය.  රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීම සඳහා රජුට ස්ථාවර යුද හමුදාවක් නො වී ය.  රජුගේ අංගාරක්ෂක හමුදාවක් පමණක් ස්ථාවර ව පැවතිණ.   රාජ්‍ය ධර්මයන් උල්ලංඝනය කරමින් කටයුතු කරන ලද අවස්ථාවන්හි රටවැසියෝ රජුට විරුද්ධ ව කැරලි ගැසූහ.

ශ‍්‍රී ලංකාවේ පැවතියේ ස්වයං පෝෂණ අර්ථ ක‍්‍රමයකි.  හුවමාරුව සහ අත්තම් ක‍්‍රමය මෙහි දී මූලික විය.  කුල ක‍්‍රමය  මූලික ව සමාජ ව්‍යුහය සකස් විය.  භූමියේ අධිපති වූයේ රජු ය. එසේ වුව ද වැසියන් විසින් භුක්ති විඳින ලද ඉඩම් කෙරෙහි රජුගේ බලපෑමක් නො වී ය.  අස්වාමික ඉඩම් රාජ සන්තක සේ සැලකිණි.  ඉඩම් අයිතිය ප‍්‍රවේණියෙන් හිමි වූ බැවින් එය උසස් ම දේපල අයිතිය සේ සැලකිණ.  ඉඩම් සහ දේපල අයිති වූයේ ඒ සඳහා ඉටු කළ යුතු සේවය හෝ රාජකාරිය මත ය.   රාජකාරිය සම්බන්ධ වූයේ පුද්ගලයාට නො ව ඉඩමට ය.  සේවා සැපයීමට නොහැකි වූයේ නම් හෝ අකමැති වූයේ නම්  ඉඩමේ භුක්තිය අත් හැරිය යුතු ය.  රාජකාරිය ඉටු කළ යුතු වූයේ පුරුෂයන් පමණි.  ස්ත‍්‍රීහු පොදු රාජකාරියෙන් මිදුනාහු ය.  කාන්තාවන් සඳහා වෙන් වූ ඒක ම රාජකාරිය ලෙසින් පැවතියේ දේවාලයන්හි ආලත්ති බෑම සහ  නර්තනය පමණි.  ඒ සඳහා ඔවුනට ඉඩම් ප‍්‍රදානය කෙරිණි.

ලක්දිව ද වහල් සේවා පැවති බවට සාධක අැත.  මෙහි දී භාරතයේ පැවති ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ බව පෙනේ.  ලක්දිව දාසයන් යුරෝපීය නිදර්ශනට වඩා වෙනස් වන්නේ තම ස්වාමියා හා තමන් අතර වූ මානවීය සබඳකම මත ය.  ඔවුන්ගේ යැපීම සඳහා ස්වාමිවරු ඉඩකඩම් සහ ගවයින් පවරා දුන්හ.  මේ දාසයින් නම්බුවෙන් හැරෙන්නට අන් සියලු කරුණු අතින් සිය ස්වාමිවරුන්ට පහත් නො වූ බව කියැවේ.  මේ ක‍්‍රමය නොසලකා කටයුතු කළ ස්වාමිවරුන් සිටි බවට ද තොරතුරු වේ.  සමස්තයක් ලෙස ලක්දිව දාසයන් වඩාත් නිවහල් දිවිපෙවතක් ගත කළ බව පැහැදිලි ය.

පූර්වෝක්ත කරුණු සලකා බැලීමේ දී පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ යුරෝපයේ පැවති ආකාරයේ පරිපාලන ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවේ නොපැවති බවත් මේ රටෙහි වැඩවසම් ක‍්‍රමය ක‍්‍රියාත්මක නො වූ ආකාරයත් ය.

වැඩවසම් ක‍්‍රමය ආනයනය කිරීම – අධිරාජ්‍යවාදීන් විසින් තම පාලිතයන්ගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය බිඳ හෙලා ඔවුනගේ එඩිය මැඩීම  සඳහා නොයෙක් අන්දමේ උපාය මාර්ග අනුගමනය කළ ආකාරය යටත් විජිත ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් දැක ගත හැකි ය.  නිදර්ශනයක් ලෙසින් 1832 කෝල්බෲක් කොමිසම මගින් රාජකාරි ක‍්‍රමය අවලංගු කරනු ලබන්නේ වැඩවසම් ලක්ෂණයක් ඉවත් කිරීමේ සද්භාවයෙන් ලෙස හැඳින්වුව ද,  සත්‍ය වශයෙන් ම සිදු වූයේ සාම්ප‍්‍රදායික ස්වයං පෝෂණ අර්ථ ක‍්‍රමය විනාශ කිරීමේ පදනම ඇති කිරීමයි.  1848 මුඩුබිම් පණත මගින් සිදු කෙරෙන්නේ රාජ්‍යයත්, රටවැසියාත්, භූමියත් අතර තිබූ දීර්ඝ කාලීන සම්බන්ධතාව බිඳ දැමීමෙන් අනතුරු ව, වැසියාට අයිතිවාසිකම් කීමට නොහැකි වූ සියලු ඉඩම් රාජසන්තක කිරීමයි.  ඒ මගින් අධිරාජ්‍ය අවශ්‍යතා සඳහා  එනම් රාජ්‍ය අයභාරය අඩු කර ගනිමින් වැවිලි ආර්ථිකය සඳහා වූ මාර්ග විවර කර ගැනීම ය.

තමන්ගේ හීනමානය නිසා, ඉංග‍්‍රීසීහූ තමන් ශිෂ්ටාචාරවත් වීමටත් පෙර සිට ඉතා උසස් සංස්කෘතියට හිමිකම් කී ලාංකිකයන්ගේ එඩිය බිඳ දැමීමත්, යටත් වැසියා තමන්ට වඩා පහත් තත්ත්වයේ අයෙකු ලෙස සැලකීම සඳහාත් විවිධ උපක‍්‍රම අනුගමනය කළහ.  එබැවින් පැරණි ලක්දිව  පැවති පරිපාලන ව්‍යූහය ඔවුන්ගේ අශිෂ්ට අර්ථ ක‍්‍රමය වූ වැඩවසම් ක‍්‍රමය හා සමගාමී කරන්ට ඔවුහු උත්සාහ දැරූහ.  ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් දීන වූ ආත්ම ෙගෟරවයෙන් හා හීන වූ ආත්ම විශ්වාසයෙන් යුතු වූ ලාංකිකයන් විසින් ම එම කාර්යය සිදු කරනු ලැබී ය.  එම  ක‍්‍රියාමාර්ගයේ ප‍්‍රතිඵලයක් ලෙසින් අද විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවා ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් මේ වැඩවසම් මිථ්‍යාව භාවිත කරමින් තවදුරටත් අවිද්‍යාවෙහි ගැලී සිටිති.   සිංහල සාහිත්‍ය විචාරයේ දී එම භාවිතය මගින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය අවප‍්‍රමාණයටත් හෑල්ලුවටත් පත් කර ඇත.

ලාංකිකයන්ගේ ඖදාර්ය හීන කිරීමේ වෑයමක් ලෙසින් වැඩවසම් මිථ්‍යාව ලාංකිකයන් අතර තහවුරු කිරීම සඳහා පාසල් අධ්‍යාපනය භාවිතයට ගැනිණි.  මෙහි දී  1935 වර්යේ සිට 1970 දක්වා වූ වසර 35 කාලයක් පුරා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් භාවිත කාණ්ඩ හතරකින් යුතු අපේ උරුමය නම් වූ ඉතිහාස ග‍්‍රන්ථය සිදුකර ඇති හානිය අතිවිශාල ය.  ශ‍්‍රී ලංකාවට නිල වශයෙන් වැඩවසම් ක‍්‍රමය හඳුන්වා දෙමින් 1935 වර්ෂයේ දී මේ කෘතිය නිර්මාණය කරනු ලබන්නේ ආචාර්ය ජී. සී. මෙන්ඩිස් විසිනි.  මොහු පසු කලක දී සාහිත්‍ය චක‍්‍රවර්ති උපාධියකින් ද සම්මානිත ය.

පූර්වෝක්ත කෘතිය සඳහා පූර්විකාව සපයා ඇත්තේ එවකට  කොළඹ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ව සිටි එස්. ඒ. පේක්මන් විසිනි.  මහාචාර්ය පේක්මන් විසින් යථාර්ථයෙන් බැහැර වූ එම කෘතියට සපයන ලද පූර්විකාවෙන් එය උසස් ශාස්ත‍්‍රීය කෘතියක් සේ හඳුන්වා ඇත්තේ  තම අධිරජ්‍යවාදී අවශ්‍යතා සාක්ෂාත් කර දීමට මෙන්ඩිස් ඉදිරිපත් වූ බැවිනි:

‘ලංකාද්වීපයට දීර්ඝ ඉතිහාසයක් ඇත.  එහි මුල් කොටසට මුළුමනින් ම පාහේ  පදනම් වී ඇත්තේ මහාවංශ නම් දීර්ඝ පාලි කාව්‍යයි.  ඇතැම් විට මහාවංශයේ ඒ ඒ කොටස්  සංග‍්‍රහ  කරන ලද්දේ එම කොටස්වලින් කියැවෙන දේවල් සිදු වූවාට බොහෝ කලකට පසු ය.  එබැවින් මහාවංශයේ එන කරුණුවලින් කොපමණක් සැබෑ ද කොපමණක් හුදු ප‍්‍රබන්ධ ද කියා නිශ්චය කිරීම අතිශයින් දුෂ්කර ය.  බොහෝවිට එය කිසිසේත් ම කළ නොහැකි ය.’

දේශීය මූලාශ‍්‍රය පිළිබඳ ශිෂ්‍යයින්ට සහ ගුරුවරුන්ට ඉදිරිපත් කරන මේ හැඳින්වීම අතිශයින් ම ඍනාත්මක ආකල්පයෙන් යුක්ත ය.  එයින් විද්‍යාර්ථීන් විසින් මහාවංශය වැනි ඉතා වැදගත් ඓතිහාසික මූලාශ‍්‍රයක් පිළිබඳ ඇති කරගනු ලබන්නේ සැකයකි.  මහාවංශයෙහි ඇතුළත් ඓතිහාසික කරුණු විවිධ පුරාවිද්‍යාත්මක සාධක සහ ඓතිහාසික හා සාහිත්‍යයික ලේඛන මගින් ද සත්‍ය බවට තහවුරු කර ඇති අතර අධිරාජ්‍යවාදී චින්තනයෙන් යුක්ත මහාචාර්ය පේක්මන් දේශීය සංස්කෘතිය අවතක්සේරුවට පත් කිරීමට ඉහත ප්‍රකාශයෙන් උත්සාහ ගෙන ඇත.  මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුකාලීන ව මහාවංශය පිළිබඳ වූ විශ්වාසය බොහෝ විද්‍යාර්ථීන්ගෙන් ගිලිහී ගොස්  ඇත.

එපමණක් නො ව මහාචාර්ය පේක්මන් විසින් අපේ උරුමය කර්තෘ පිළිබඳ කෙරෙන හැඳින්වීම මගින් තත් කෘතියේ ඇති සාවද්‍ය කරුණු පිළිගැනීමට විද්‍යාර්ථීන් පෙලඹ වීමක් ද විය.  ඔහුගේ එම හැඳින්වීම  ආචාර්ය මැන්ඩිස්ගේ ඉතිහාසය විකෘති කිරීම ඔහු ද පිළිගනිමින් සමස්ත ලාංකිකයනට එම මිථ්‍යාව පැවරීමකි:

‘ආචාර්ය මෙන්ඩිස් මහතා ලංකා ඉතිහාසයෙහි ප‍්‍රාග් යුරෝපීය කාලය විවේචනාත්මක ලෙසත්, විද්‍යාත්මක ලෙසත් හදාරා ඇති පඬිවරුන් ටිකදෙනාගෙන් එක්කෙනෙකි.  ඔහු ‘මේ මේ කරුණු සැබෑ ය; මේ මේ කරුණු ප‍්‍රබන්ධ කථා’ යයි තෝරා බේරා දක්වා තිබෙන ආකාරය ද එසේ කළ නොහැකි ම තැන දී ලංකා ඉතිහාසයේ ගැටලු තැන් පිළිබඳ ව ‘මෙහි දී මේ ගැටලුව මෙසේ ලිහා ගත හැකි’ යයි කියා පැහැදිලි කර තිබෙන ආකාරය අතිදක්ෂය; එසේ ම ප‍්‍රශස්ත ය.’

අපේ උරුමය කෘතියේ අන්තර්ගතය පිළිබඳ සඳහන් කිරීමේ දී මහාවංශය විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් කරුණු නිර්දය ලෙස ඉවත් කිරීමට මැන්ඩිස් සමත් වීම ගැන පේක්මන් විසින් දක්වනු ලබන්නේ ඉමහත් ප‍්‍රසාදයකි.  පේක්මන් දරන මතය වන්නේ බොහෝ පැරණි රජවරුන්ගේ කාර්ය සාධනයේ දී ශීලාදී ගුණයක් ඇත්නම් එය අනවශ්‍ය කරුණක් බව ය.  කිසියම් වැදගැම්මක් නැති රජවරුන් ද ලක්දිව රජ කර ඇත.  ආර්ථික වර්ධනය පමණක් සාකච්ඡාවට භාජන කිරීම වැදගත් බව ඔහු අවධාරණය කරයි:

‘කිසියම් ශීල ගුණයක් ගැන හෝ අධාර්මික චරිතයක් ගැන හෝ කීර්තියට හෝ අපකීර්තියට හෝ පාත‍්‍ර වුණු බව මිස අන්කිසි අතකින් වැදගැම්මකට නැති බොහෝ රජවරුන්ගේත් බිසෝවරුන්ගේත් නම් සඳහන් කිරීම පවා අවශ්‍ය යැයි ඔහු සලකා නැත.  එසේ වුවත් ඔහු අතීත ජනයාගේ ජීවන ක‍්‍රමය හා පාලන ක‍්‍රමය ගැනත් අද දවසේ පවා මෙරට බොහෝ සිංහල ජනයාගේත් ද්‍රවිඩ ජනයාගේත් ජීවිතයට පදනම් වී පවතින ආර්ථික ක‍්‍රමය කෙමෙන් කෙමෙන් හැඩගැසණු පිළිවෙළ ගැනත් යම් යම් කරුණු ගෙන හැර පෑමට වෑයම් කොට ඇත.  වෙනත් ලංකා ඉතිහාස පොත්පත් කිසිවෙක මෙතෙක් දක්නට නොලැබුණු මේ නවාංගය නිසා ඔහුට ප‍්‍රශංසා කළ යුතු වේ.  රසවත් පණ්ඩිත කෘතියක් වූ මේ ග‍්‍රන්ථය ඔහුගේ මේ පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයයි.  මේ පොත බහුල ලෙස පරිශීලනය කෙරේවා යි ප‍්‍රාර්ථනා කරමි’

කොළඹ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාගේ නිර්දේශය මත ලංකාවේ පාසල් පද්ධතියට සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යයන්ගෙන් ඇතුළු කළ මේ ග‍්‍රන්ථය ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ ම අවධානයට, ඇගයීමට හා පිළිගැනීමට ලක් වීම ප‍්‍රශ්න කළ යුතු නැත.

අපේ උරුමය කෘතිය මගින් මෙන්ඩිස් උත්සාහ ගෙන ඇත්තේ ලංකාවේ වැඩවසම් අර්ථ ක‍්‍රමයක් පැවති බව තහවුරු කිරීම ය.  එහි දී ඔහු භාවිත කරන උපක‍්‍රමය වන්නේ වැඩවසම් සමාජ මූලයන් පිළිබඳ සකච්ඡා කිරීම නො ව එංගලන්තයේ සහ ලංකාවේ පැවති වෙනත් සමානකම් කිහිපයක් පිළිබඳ තොරතුරු පැවසීම ය.  ඒ මගින් ආධුනික විද්‍යාර්ථීන් යථාර්ථයෙන් පිටමං කිරීමට ඔහු දැරූ උත්සාහය සාර්ථක වූ ආකාරය වර්තමානයේ විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ ආචාර්ය මහාචාර්යවරු පවා මේ මිථ්‍යාව පදනම්  කරගෙන තම පර්යේෂණ පැවැත්වීමෙන් ම සනාථ වේ.

මහාචාර්ය පේක්මන් විසින් සඳහන් කරන ලද වැඩකට නැති රජවරුන් තම ඉතිහාස ග‍්‍රන්ථයෙන් ඉවත් කර දමා ආර්ථිකය ක‍්‍රමයෙන් හැඩගැසුණු ආකාරය දැක්වීමට ආචාර්ය මෙන්ඩිස් ඉදිරිපත් කළ කරුණු වැඩවසම් ක‍්‍රමයට අදාළ ඒවා දැයි සැලකීම වටී.  අපේ උරුමය 1 කෘතියෙහි මධ්‍ය යුගයේ එංගලන්තය නම් වූ 14 පරිච්ෙඡදයෙහි ආදි ඉතිහාසය හැඳින්වීමේ දී මධ්‍යතන යුගය අවසානය දක්වා එංගලන්තයේ ඉතිහාසය සමහර කරුණු අතින් ලංකාවේ ඉතිහාසයට බොහෝ සෙයින් සමාන බවත් දෙරටෙහි ඉතිහාසය වෙනස් වන්නේ දෙරට  අත්දැකීම් ලබාගත් ආසන්න රටවල් වෙනස් වීම නිසා බවත් සඳහන් කරයි.  ආධුනික පාඨකයන් වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තහවුරු කිරීම සඳහා ඔහු දක්වන්නේ අපූරු උත්සාහයකි.  ‘ලංකාවේ පළමු කොට වාසය කළ මිනිසුන් වැද්දන් වැනි මිටි මිනිසුන් වූවා සේ ම එංගලන්තයේ ද පළමු කොට ම වාසය කළේ කළු කෙස් ඇති මිටි මිනිසුන් ජාතියකැයි’   දක්වමින් පාලනයට හෝ ආර්ථිකයට හෝ කිසිදු ඍජු බලපෑමක් හෝ සබඳකමක් නො වූ අවස්ථා ගණනාවක් සංසන්දනය කරමින් එංගලන්තයේ ක‍්‍රියාත්මක වූ වැඩවසම් ක‍්‍රමය විග‍්‍රහ කර ඇත.  එහි දී ‘වැඩවසම් ක‍්‍රමය හා වෙළඳාම දියුණුව’ නම් වූ අනුමාතෘකාවට පිවිසෙන්නේ මෙසේ ය:

‘මධ්‍යම යුගයේ දී ලංකාව ආණ්ඩු කරනු ලැබූ සැටි ඔබ දැනට ම අසා තිබේ.  පාරවල් එතරම් නොතිබුණු බැවිනුත් තිබුණු ස්වල්පය පවා අබලන් ඒවා බැවිනුත් කලකෝලාහල කාලවල දී රජවරුන්ට වහා ම රටවැසියන්ට පිහිට වන්නටත් එහා මෙහා යන්නටත් නොහැකි වූ බව ඔබට මතක ඇත.  එක එක ගමේ කටයුතු බලාගන්නට ගම් සභාවක් තිබුණු බවත් ඔබට මතක ඇත.  එංගලන්තයේ ජනයා වාසය කළේ  ගම්වල ය.  මුල දී එක එක ගම  ඒ ගමේ කටයුතු බලා කියා ගත්තේ ය.’

වැඩවසම් අර්ථ ක‍්‍රමයේ පදනම හෝ එහි මූලික ලක්ෂණ හෝ නොදක්වා එංගලන්තයේ සහ  ලංකාවේ ගම් පැවති බවත්, ගමෙහි ගම්සභාවක් මගින් පාලනය ගෙන යාමත් දක්වමින් ඉතා සූක්ෂම ආකාරයෙන් ලංකාවත් එංගලන්තයත් අතර පරිපාලන සමානකම් තිබූ බවක් තහවුරු කිරීමට උත්සාහ ගෙන ඇත.  මධ්‍යතන යුගයේ අබලන් පාරවල් තිබීම නිසා කලකෝලහලවල දී වැසියාට පිහිට වීමට රජුට නොහැකි වූ බව සඳහන් කරමින් එංගලන්තයේ ගම් සමග ලක්දිව ගම් සමාන කිරීමට යත්න දරා ඇත.  මෙහි දී රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු නොදැක්වීමට ප‍්‍රවේසම් වන රචකයා  ඉන් අනතුරු ව එංගලන්තයේ රජු  පහළ වීමත්, රජු භූමියේ හිමිකරු බවට පත් වීමත් හුදෙක් ප‍්‍රජා සේවයක් ලෙසින් හැඳින්වීමට උත්සාහ ගනිමින් ‘වැඩවසම් ක‍්‍රමය යි කියන ලද්දේ මේ ජීවන ක‍්‍රමයටය’ යනුවෙන් සඳහන් කරයි.  ඉදිරිපත් කරන ලද කරුණු ආධුනික පාඨකයින් නොමග යවන සුලු ය.  එයින් ලක්දිව ද වූයේ වැඩවසම් ක‍්‍රමයක් ය යන්න ඒත්තු යාම වැළැක්විය නොහැකි ය. ඉන් අනතුරු ව වැඩවසම් ක‍්‍රමයට අදාළ නො වන දෙරටෙහි මාලිගා සහ බලකොටු පිළිබඳ සැසඳීමක යෙදෙන්නේ ලක්දිව ද වැඩවසම් ක‍්‍රමයක් වූ බවට එය ද හේතුවක් ලෙස ගම්‍ය වෙන ආකාරයෙනි:

‘සිංහල රජවරුන් තමන්ගේ අගනුවරවල් වටේ පවුරු ඉදිකර වූ බවත් කලකෝලාහල කාලවල දී තම ආරක්ෂාව සඳහා සීගිරිය වැනි පර්වත-බළකොටු පිහිට කොට ගත් බවත් ඔබට මතක ඇත.  ඉංග‍්‍රීසි අධිපතීහු සතුරන්ගෙන් ආරක්ෂා වීම පිණිස මාලිගා-බළකොටු ඉදිකරගත්තෝ ය.  සාමාන්‍යයෙන් ඉංග‍්‍රීසි මාලිගා-බළකොටු ඉදි කරන ලද්දේ කඳු උඩ ය….’

සීගිරිය බළකොටුවක් බවට පත් කර එය එංගන්තය හා සම කිරීමෙන් ලංකාවේ පැවති තත්ත්වය එංගලන්තය හා සම කිරීමෙහි කිසිදු සාධාරණත්වයක් නොමැත.  මේ ආකාරයෙන් එංගලන්තයේ රජවරුන්ට එරෙහි වූ ප‍්‍රභූන් පිළිබඳ ව ද  නගර නිර්මාණය වීම,  රෝමානු කතෝලික පල්ලිය හා රාජ්‍ය සම්බන්ධය  ආදිය ලංකාව සමග සසඳමින් කරුණු ඉදිරිපත් කරයි.  එසේ කරුණු දක්වා පාඩම අවසානයේ ‘මධ්‍ය යුගයේ දී එංගලන්තයේ පැවති ආණ්ඩු ක‍්‍රමය ඒ කාලයේ දී ලංකාවේ පැවති ආණ්ඩු ක‍්‍රමය සමග සංසන්දනය කරන්න’ යනුවෙන් අභ්‍යාස ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට යොමුකර වීමෙන් ඉදිරිපත් කරන ලද මිථ්‍යා දැනුම තහවුරු කීරීමට අවස්ථාව සලසා ගෙන ඇත.

අදාළ පරිච්ඡ්‍ෙඡ්දයේ දී එංගලන්තයේ පැවති වැඩවසම් ක‍්‍රමයේ මූලික ම අංගයක් වූ ශ‍්‍රමය සූරාකෑමට ලක් වූ වහලුන්/ප‍්‍රවේණි දාසයන්ගේ දුඃඛදායක ජීවන ක‍්‍රමය පිළිබඳ එක ම වැකියක් හෝ ඇතූළු නොකිරීමට ප‍්‍රවේශම් වී ඇත.  මහාචාර්ය පේක්මන්ගේ නිර්දේශයෙහි පරමාර්ථය කුමක් දැයි මෙයින් මනා ව පැහැදිලි වේ.

එංගලන්තයේ රජු පහළ වන්නේ වැසියා ආරක්ෂා කිරීමේ අධ්‍යාශයෙන් බවත්, එය ජන සම්මතයෙන් ඇති වූවක් බවත් අවධාරණය කරන අතර රාජ්‍යත්වය ස්ථාවර වීමෙන් අනතුරු ව එය  ජන පීඩක ක‍්‍රමක් වූ ආකාරය දක්වන්නේ නැත.  ඒ වෙනුවට රජවරුන් පිළිබඳ විද්‍යාර්ථියාට ලබා දෙන්නේ පහන් හැඟීමකි:

‘එහෙත් පිටරටවලින් පැමිණි සතුරන් නිතර ම පාහේ පහර දෙන්ට පටන් ගත්විට රට වැසියෝ තම ආරක්ෂාව සඳහා බලසම්පන්න අධිපතියෙකුගේ පිහිට සොයා යන්නට වූහ.  මේ අධිපතිහූ වැසියන් ආරක්ෂා කර ඊට ප‍්‍රත්‍යුපකාර වශයෙන් ඔවුන් ලවා තමන්ගේ වැඩපල සහ යුද්ධත් කරවා ගත්තෝ ය.’

වැඩවසම් මිථ්‍යාවේ අතරමං වීම – 1935 වර්ෂයේ පටන් ශ‍්‍රී ලාංකේය ඉතිහාසය මේ ලෙසින් සාවද්‍ය අර්ථකථනයට භාජන කර පාසල් අධ්‍යාපනයට  ඇතුළු කිරීම නිසා මෙයින් අනතුරු ව ශ‍්‍රී ලංකාවේ වැඩවසම් ක‍්‍රමයක් වූයේ යැයි උපකල්පනය කරමින් දේශීය සංස්කෘතිය අරභයා වූ සාවද්‍ය  මතවාද ඉදිරිපත් වූ අවස්ථා රාශියකි.  මෙය වඩාත් බලවත් ව කැපී පෙනෙන්නේ  සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ හැඳින්වීමේ දී සහ විචාරයේ දී ය.  ඇතමෙකුට අනුව සීගිරි ගී ජනකවි ය.  පන්සිය පනස් ජාතක පොත හැඳින්වීමේ දී එය ජනකථා සංග‍්‍රහයක් ලෙස හඳුන්වා දීමට කැමැත්තක් දක්වන්නෝ ද වෙති.  නූතන කෙටිකථා ලක්ෂණ ජාතක කථාවෙහි අන්තර්ගත වේය යන්න ද තවත් එවන් මතයකි.

සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි ප‍්‍රකට ලක්ෂණයක් වන්නේ එය ශ්‍රෝතෘන් සඳහා නිර්මාණය වීම යි. එයට හේතුව ලෙසින් ඉදිරිපත් කෙරෙන මූලික තර්කය වන්නේ භික්ෂූන් වහන්සේටත් ප‍්‍රභූවරුන්ටත් පමණක් පැරණි ශ‍්‍රී ලාංකේය අධ්‍යාපනය සීමා වූ බැවින් සාමාන්‍ය ජනයා සාක්ෂරතාවෙන් තොර වූ බව ය. එබැවින් සාක්ෂරතාවෙන් තොර සමාජයක අවශ්‍යතා සැපිරීමට ශ්‍රොතෲ සාහිත්‍ය නිර්මාණකරණයක් ඇති වූ බව ය.  ලාංකේය සමාජය සාක්ෂරතාවෙන් තොර වූයේ යැයි උපකල්පනය කෙරෙන්නේ මෙහි වැඩවසම් සමාජයක් වූයේ ය යන මිථ්‍යාවෙහි පිහිටීම නිසා ය.

ලක්දිව සිංහල වැසියා සාක්ෂරතාවෙන් යුතු වූයේ ය.  අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ කාලය පරීක්ෂා කිරීමෙන් මේ පිළිබඳ මනා වැටහීමක් ලබා ගත හැකි වේ.  සීගිරි කැටපත් පවුරේ ලියවී ඇති කුරුටු ගී මේ සඳහා මනා වූ නිදර්ශන වේ.  ඡන්දස් සහ අලංකාර පිළිබඳ මනා දැනුමක් ඇති අය විසින් ලියා ඇති මේ පද්‍ය කාව්‍යමය ගුණයෙන් අනූන ය.  රජවරුන්, රැජනියන්, ඈපාවරුන්, සේනාපතිවරුන්, අධිකාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්, භික්ෂූන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, යහන්ගොව්වන්, වෙළෙන්දන්, ගෘහිනියන් සහ අතවැසියන් විසින් ලියන ලද ගී මෙහි දක්නට ඇත.  මේ අනුව සමාජයේ  සෑම තරාතිරමකට ම අයත් පිරිසක් මේ කවි ලියා ඇති බව පැහැදිලි ය.  එයින් කියැවෙන්නේ අනුරාධපුර යුගයේ ලක්දිව සමාජයේ කිසිදු භේදයකින් තොර ව අධ්‍යපනයෙහි නිරත වීමට සියල්ලන්ට අවකාශ තිබූ බවත්, ජනයාගේ සාක්ෂරතාව ඉතා දියුණු තත්ත්වයක තිබූ බවත් ය.

පාලි රසවාහිනිය ආශ‍්‍රයෙන් ලියැවුණු සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන උත්තරෝලිය වස්තුවෙහි ද අනුරාධපුරයේ අධ්‍යාපනය පිළිබඳ සඳහනක් වේ.  එකල මේ ලංකාද්වීපයෙහි මනුෂ්‍යයෝ තම පස් හැවිරිදි කුමාරවරුන් තමතමන්ගේ විභාවානුරූප ව නොයෙක් ආභරණයෙන් සරසා මහත් වූ මංගල්‍ය‍යෙන් ශික්ෂා ග‍්‍රහණය පිණිස ගුරුගෙදරට පමුණුවා අධ්‍යාපනය ලබා දීමේ සිරිතක් වූ බව ඉන් කියැවෙයි.

ලක්දිව අධ්‍යාපන ක‍්‍රියාවලිය මන්දගාමී වූ අවධියක් වූ මහනුවර රාජධානි සමයේ පවා සාමාන්‍ය ජනයා අධ්‍යාපනය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූ ආකාරයත් දරුවන් ඒ සඳහා උනන්දු කර වූ ආකාරයත් වදන්කවි පොතෙන් ප‍්‍රකට වේ:

අල්ලට සිඟවත් රස නැති කැවිලි   කකා -වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්     තකා – කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා -ඇල්මෙන් අකුරු උගෙනිව් ඉදිරි වැඩ  තකා

පූර්වෝක්ත පද්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ  සාමාන්‍ය ජනයා වෙත කෙරෙන ආරාධනයකි.  දරිද්‍රතාවේ පතුලෙහි සිටිය ද අනාගතය උදෙසා ඇල්මෙන් අධ්‍යාපනයෙහි නියැලීමට යොමු  වන ලෙස කරන නියමයක් මෙහි ප‍්‍රකට වේ.  එසේ අකුරු ඉගෙනීමේ ප‍්‍රතිඵලය උසස් වේ.  ලබනා දැනුම සොරුන්ට, රජුන්ට හෝ රදලයින්ට උදුරා ගැනීමට නොහැකි ය.  ස්වාභාවික ආපදාවකින් හෝ උගත මනා ශිල්පය නැති වී නොයයි:

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ     නා  –  එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙ නා –  කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙ   නා  – උගතමනා සිල්පය මයි මතු රැකෙ    නා

රජ මැතිඳුන්ට මෙන් ම සාමාන්‍ය ජනයාට  ද නුවර යුගයේ දී අධ්‍යාපනය ලැබීමේ වරප‍්‍රසාදය හිමි ව තිබු බව මෙයින් පැහැදිලි වේ.  එසේ හෙයින් ලාංකිකයෝ සාක්ෂරතාවෙන් වියෝ නො වූහ. එසේ හෙයින් පූර්වෝක්ත අර්ථ කථනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අවප‍්‍රමාණ කර ඇත.

සිංහලයෙහි අසන්නන් සඳහා කෘති නිර්මාණය වන්නට හේතු වූයේ අතීතයේ ග‍්‍රන්ථ නිෂ්පාදනයෙහි වූ දුෂ්කරතාවන් ය.  පුස්කොළ පදනම් වූ ලේඛනය ඒ පිළිබඳ මනා පුහුණුවක් වූ අය විසින් ම කළ යුතු විය.  මූල කෘතියෙහි පෙළ ඉතා ප‍්‍රවේශමෙන් වර්ණයෙන් වර්ණය පුස්කොළ පොත් ලියන්නන් විසින් පූස්කොළයේ කපනු ලැබිය යුතු විය.  මෙය කල්ගත වන එසේ ම ආයාසකර කාර්යයක් විය. සද්ධර්මරත්නාවලිය වැනි දීර්ඝ ගද්‍ය කාව්‍යයක් පිටපත් කිරීමට ගත වන කාලය සලකා බලන විට අතීතයේ විසූ ලේකඛයෝ මේ දුෂ්කරතාව ජය ගැනීම සඳහා අසන්නන් සඳහා වූ සාහිත්‍යයක් නිර්මාණය කිරීමට පෙලඹුණු බව පැහැදිලි වේ.  ඒ විනා අකුරු දත් අය විසින් අකුරු නොදත් අය උදෙසා කියැවීමට ලියූ බවට කරන  ප‍්‍රකාශ යටත් විජිත චින්තනයෙන් ඔද්දල්වූ ප‍්‍රකාශයන් ම ලෙස පිළිකෙව් කළ යුතු වේ.

යුරෝපීය  වැඩවසම් සමාජයේ ප‍්‍රවේණි දාසයන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියක් නොතිබිණ.  එබැවින් ඔවුන්ගේ කලාව ගුණාත්මක භාවයෙන් හීන විය.  අපරදිග ජාතීහු වැඩවසම් ප‍්‍රවේනි දාසයන්ගේ කලාව ජන සම්ප‍්‍රදාය ලෙසින් හැඳින්වූහ.  එහි දී ඔවුන්   විසින් භාවිත ගායන, නර්තන, සංගීත ආදී කලාංග හැඳින්වීමේ දී ‘ජන’ යනුවෙන් විශේෂණයක් භාවිත විය.  ඒ ජනකවි, ජනගායනා, ජනනැටුම් ආදී වශයෙනි.  ජන සම්ප‍්‍රදාය පිළිබඳ මේ සංකල්පය ලක්දිවට බලපවත්වන්ට පටන් ගත්තේ යටත් විජිතවාදී චින්තනයෙන් ෙමාට්ට වූ උගතුන්ගේ අන්ධානුකරණයේ ප‍්‍රතිඵල ලෙසිනි.

මහනුවර යුගයට අයත් පද්‍ය සාහිත්‍යය ඇගයීමේ දී ද වැඩවසම් මිථ්‍යාව ප‍්‍රමුඛත්වයක් ගෙන තිබේ.   එහි දී තත් යුගයේ පද්‍ය කාව්‍ය චූල සම්ප‍්‍රදාය ලෙසින් හෝ  එසේ නොමැතිනම් ජනකවි සම්ප‍්‍රදායට අයත් ලෙසින් හෝ වර්ගීකරණය කෙරෙයි.  මෙහි දී විදුර, වෙස්සන්තර වැනි ජාතක කාව්‍යයන් සහ යශෝදරාවත වැනි විදග්ධ කාව්‍ය ජනකවි හෝ චූල කාව්‍ය නමින් හැඳීන්වීම වර්තමානයේ ඇටුවම් බැසගත් පිළිලයක් බවට පත් ව ඇත.  ඇතැම් අවස්ථාවක ගුත්තිල කාව්‍යය ජනකවියේ ආභාසයෙන් ලියැවුණක් ලෙස ද, කාව්‍යශේඛරය විදග්ධ සහ ජන සම්ප‍්‍රදායයන් අතර මංමුලා වූවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද හැඳින්වේ.

සිව්පද කාව්‍ය ආකෘතිය ජනප‍්‍රිය භාවිතයට පත් වන්නේ ගම්පල රාජ්‍ය සමයේ සිට ය.  මහනුවර සමයේ දී එය වඩාත් ජනප‍්‍රිය වූ අතර කොට්ටේ යුගයේ පැවති සම්භාව්‍ය ලක්ෂණ කිසියම් ප‍්‍රමාණයකින් මහනුවර යුගයේ දී අඩු වීමක් ප‍්‍රකට වේ.  එය පොදුවේ සමකාලීන සමාජ ආර්ථික සහ දේශපාලන හේතු මත සිදු වූවක් විනා ජනකවි සම්ප‍්‍රදායක් ලෙසින් ඇති වූ නිර්මාණකරණයක් නො වේ.

ජනකවිය හැඳින්වීම සඳහා වර්තමානයේ භාවිත අර්ථ දැක්වීම වන්නේ සාක්ෂරතාවක් නොමැත්තන් විසින් පවසන ලද, මුඛපරම්පරාවෙන් පැවතෙන අලිඛිත කාව්‍ය සම්ප‍්‍රදායයක් ලෙසිනි.  මේ යෙදුම වූ කලි වැඩවසම් සමාජයේ ප‍්‍රවේණි දාසයන්ගේ සම්ප‍්‍රදාය හැඳින්වීම සඳහා ඉංග‍්‍රීසි භාෂාවෙහි භාවිත FOLK TRADITION ආශ‍්‍රයෙන් සිංහලට සකස් කරගත් වදනකි.  ජනකවිය යන යෙදුම ලිඛිත සිංහල භාෂාවෙහි ප‍්‍රකට ව භාවිතයට පැමිණෙන්නේ 1935 වර්ෂයේ පටන් ය.  ගුණපාල මලලසේකර සහ වෛද්‍ය ඩබ්ලියු. ඒ. සිල්වා විසින් සංගෘහීත සිංහල ජනසම්මත කාව්‍ය නම් කෘතියෙහි මුල් වරට සිංහල සාහිත්‍යයේ අන්තර්ගත ඇතැම් පද්‍ය ජනකවි ලෙසින් වර්ගීකරණය කර ඇත.  ඒ පිළිබඳ ව ඔවුහු මෙසේ පවසති:

‘මේ වනාහි ලක්දිව රාජකීය ආසියාතික සමිතිය මගින් සිංහල ජනසම්මත කාව්‍ය එකතු කොට පළ කිරීමට අදහස් කරන ලද පොත් පන්තියේ පළමු වන පොතයි.  ඉතිරි කොටස් යථා කාලයේ දී ප‍්‍රසිද්ධ කරනු ලැබේ.  මේ පොත් සකස් කිරීමේ දී අපේ බලාපොරොත්තුව වූයේ සිංහල ජනතාව අතර නොයෙක් පළාත්වල තවමත් නොනැසී පවත්නා ජනකවි රැස්කොට තැබීමයි.’

සංස්කාරකවරුන් විසින් ජනකවි ලෙසින් රැස්කරනු ලැබ ඇත්තේ ඡන්දස් සහ අලංකාරයන්ගෙන් සමන්විත වූ විදග්ධ සම්ප‍්‍රදායේ පද්‍යයන් ය.  මේ පද්‍ය සංග‍්‍රහ කිරීමේ දී භාවිත කළ විවිධ මූලාශ‍්‍රය අතර කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබී හමු වූ පොත් කිහිපයක් සහ වෛද්‍ය ඩබ්ලියු. ඒ. සිල්වාට අයත් පුස්තකාලයෙහි වූ පුස්කොළ පොත් ද වූ බව සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ම ඔවුනට මූලාශ‍්‍රය ව පැවැතියේ ලිඛිත සාහිත්‍යයක් බව ය.

අධිරාජ්‍යවාදීන් සහ අධිරාජ්‍ය ගැත්තන් විසින් රෝප්‍ය ශ‍්‍රී ලංකාවේ වැඩවසම් මිථ්‍යාව නූතන සිංහල සාහිත්‍ය විචාරයට පිවිසෙන්නේ විසි වැනි සියවසේ මැද භාගයෙන් අනතුරු ව ය.  විසිවැනි සිය වසේ හය වැනි දශකයේ දී විශ්වවිද්‍යාලයන්හි සහ උසස් අධ්‍යාපනය හැදෑරූ අය අතර ප‍්‍රකට ව පැවති ශාස්ත‍්‍රීය සඟරාවක් ලෙසින් සංස්කෘති සඟරාව හැඳින්විය හැකි ය.  සිංහල මාධ්‍යයෙන් විශ්වවිද්‍යල අධ්‍යාපනය ඇරඹි මේ යුගයේ දී සිංහල භාෂාවෙන් දැනුම ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රකාශන දුබල වූ බැවින් විවිධ විද්වතුන් හා ආයතන මගින් ශාස්ත‍්‍රීය සඟරා ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබූ අතර සංස්කෘති සඟරාව ඉන් ප‍්‍රමුඛත්වයක් ගෙන තිබිණ.  වර්ෂ 1958 දී මාර්ටින් වික‍්‍රමසිංහගේ සාහිත්‍ය සේවාව ඇගයීම් වස් සංස්කෘති සඟරාවේ එක් කලාපයක් වික‍්‍රමසිංහ අංකය නමින් පළ විය.  එම කලාපයෙහි අමරදාස වීරසිංහ අතින් ලියැවුණු වික‍්‍රමසිංහ නවකථාවේ විකාසනය නම් වු ලිපියෙන් (මේ ලේඛකයා දන්නා තරමින් ප‍්‍රථම වරට) වැඩවසම් මිථ්‍යාව සාහිත්‍ය විචාරය සඳහා එළි දැක්විණි.  මාර්ටින් වික‍්‍රමසිංහගේ ජනප‍්‍රිය නවකථා තුනක් වන ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය පිළිබඳ හැඳින්වීමෙක යෙදෙන ලේඛකයා මාර්ටින් වික‍්‍රමසිංහ  ලංකාවේ මධ්‍යම පන්තියේ ප‍්‍රභවය, වර්ධනය සහ බිඳ වැටීම මේ නවකතා මගින් නිරූපණය කර ඇතැ යි සඳහන් කරයි.  එහි දී ඔහු ලක්දිව පැවතියේ වැඩවසම් අර්ථ ක‍්‍රමයක් බව පවසයි.

‘මධ්‍යම කාලීන පාරම්පරික ජීවිතයේ (=රදල වැඩවසම් ක‍්‍රමයේ) පිරිහීයාමත් සමග බටහිර ධනවාදයේ ආක‍්‍රමණයෙන් පැනනගින වර්තමාන මධ්‍යම පන්තියේ උපතත් එය වැඩී, අනතුරු ව ගිලිහී ගොස් අනාගතයේ දී ඇති විය හැකි පන්ති විරහිත සමාජයක බීජයනුත් ගම්පෙරළිය නවකතාවේ විෂයට අයත් වේ’

මාර්ටින් වික‍්‍රමසිංහගේ තුන්ඈඳුතු නවකථාවලින් එවැනි අදහසක් පළ නො වන අතර එහි ඇත්තේ මාර්ටින් වික‍්‍රමසිංහ තත් සමාජයේ ඇතිවෙමින් පැවති දෘශ්‍යමානය නිරීක්ෂණය කිරීමක් පමණි.  මෙහි දී වීරසිංහ වැඩවසම් ක‍්‍රමය හඳුන්වන්නේ මධ්‍යකාලීන පාරම්පරික ජීවිතය යනුවෙනි.  මාර්ටින් වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය නවකථාව හැඳින්වීමේ දී ‘මධ්‍යකාලීන පාරම්පරික ජීවිතය’ යන්න පුනපුනා ඉදිරිපත් කරන ලේඛකයා කොග්ගල පිහිටි මහ ගෙදර මෙම නවකථාවේ කේන්ද්‍රස්ථනය බවත්, එය පිරිහුණු ‘මධ්‍යකාලීන පාරම්පරික ජීවිතය’  ක‍්‍රමයෙන් විනාශ වන ආකාරය අ`ගවන ප‍්‍රබල සංකේතයක් ලෙසින් ද,  නන්දාගේ රෝගී තත්ත්වය විග‍්‍රහ කරමින් එය කයිසාරුවත්තේගේ ආර්ථිකය පිරිහීම එක් අතකින් ද, ‘මධ්‍යම කාලීන පාරම්පරික ජීවිතය’ රෝගී වන ආකාරය සංකේතාත්මක ව අනිත් අතින් ද ඉදිරිපත් කරන බවත්, නන්දා සහ ජිනදාසගේ විවාහය ද ‘මධ්‍යම කාලීන පාරම්පරික ජීවිතය’ තම ආත්ම ආරක්ෂාව සඳහා තවදුරටත් දැරූ වෑයමක් ලෙස ද හඳුන්වයි.  ජිනදාසට දාව නන්දා ලැබූ දරුවා මියයාම වුව ද සංකේතානුසාරයෙන් පිරිහුණු ‘මධ්‍යම කාලීන පාරම්පරික ජීවිතයයේ’ අප‍්‍රාණිකත්වය ප‍්‍රකාශ කරන බව ද සඳහන් කරයි.   මේ ලෙසින් ‘මධ්‍යම කාලීන පාරම්පරික ජීවිතය’ පිළිබඳ ව මේ ලිපියේ තවත් අවස්ථා හතක දී අවධාරණයෙන් සඳහන් කරයි.

මාර්ටින් වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය නවකථාවට පාදක වූ සමාජ පසුබිමට මෙසේ වැඩවසම් ක‍්‍රමයක් ආරෝපණය කිරීමෙන් සිදු වූයේ වැඩවසම් මිථ්‍යාව තවදුරටත් පෝෂණය වීමයි.  ශ‍්‍රී ලංකාවේ වැඩවසම් මිථ්‍යාව සම්භාව්‍ය සිංහල සාහිත්‍ය විචාරයේ දී ද ඉන් පසු කාලයේ භාවිත ව ඇත.  උම්මග්ග ජාතකය සඳහා කරන ලද විචාර ග‍්‍රන්ථයක් වූ උමංදා පිවිසුම නම් වු කෘතියෙහි ලංකාවේ සහ ඉන්දියාවේ වැඩවසම් ක‍්‍රමයක් වූ බව අවධාරණය කරයි:

උමංදාව වනාහි පැරණි සිංහල ගද්‍යාවලියෙහි වැදගත් ස්ථානයක් දරන කෘතියකි. වැඩවසම් සමාජයේ රාජසභාශ‍්‍රිත යථාර්ථය එහි රසාත්මක ආකාරයෙන් ගැබ් වේ.  මේ නිබන්ධයෙන් අපේක්ෂා කරන්නේ ඒ බව පහදා දීමයි’

තත් කෘතියෙහි කර්තෘවරු උමංදාවෙහි කාලගෝල ප‍්‍රශ්නය විග‍්‍රහ කරමින් ‘තමා සිත් ගත් සිය රක්ෂාවරණය සැපයීමෙහි පොහොසත් වූ අඟුටු මිට්ටෙකුට පමණක් නො ව කණෙකුට කොරෙකුට පවා බැතිබර ව සිටීම වැඩවසම් සාමාජයේ ස්ත‍්‍රීන්ගේ සිරිතක් බවත්   වැඩවසම් චර්යා ධර්මයක ප‍්‍රතිඵලයක් ලෙසින් උදුම්බරා දේවිය කුරිරු දරුණු පිලිස්තීනුවෙකුට පුද දෙන ලද බවත්  අවධාරණය කරති.   එසේ ම එම කෘතියේ අවසන් පරිච්ෙඡ්‍දයෙහි දැඩි ලෙසින් අවධාරණය කරන්නේ උම්මග්ග ජාතකයෙන් නිරූපණය වන්නේ වැඩවසම් රාජ්‍ය තන්ත‍්‍රය අභියෝගයට ලක් වූ කාල පරිච්ඡෙදයක යථාර්ථය බවයි.  එහි දී උමංදාවට පාදක ව රාජ්‍ය පරිපාලනය වැඩවසම් පාලනයක් බව හුවා දක්වයි   එසේ ම මේ කෘතියෙහි ලක්දිව පැවතියේ ද වැඩවසම් පාලනයක් යැයි දක්වා ඇත:

‘කවර වධ හිංසා සීමාකම් දුෂණ සහ අක‍්‍රමිකතා මධ්‍යයේ වුව ද වැඩවසම් රාජ්‍ය ආරක්ෂා කිරීමටත්, ස්ථාපිත චර්යා ධර්මයන්ගේ මුල් නොසිඳීමට වග බලාගැනීමටත්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පෙරදිග ක්‍ෂත‍්‍රියයන් හා බ‍්‍රාහ්මණයන් විසින් පැලපදියම් කරන ලද සම්ප‍්‍රාදාය විය.  අවිහිංසාවාදී පදනමක පිහිටා ලක්දිව රජකම් කළ සිරිසඟබෝ, ආමණ්ඩ ගාමිණී වැනි නරපතියෝ වැඩවසම් පාලකයන් වශයෙන් මුළුමනින් ම අසාර්ථක වූවා පමණක් නො ව සිය ජීවිතවලට ද අහිමි වූහ’

නූතන ස්වදේශික පඬිවරුන් විසින් ලක්දිවට වැඩවසම් ක‍්‍රමයක් ආරෝපණය කරනු ලැබුව ද අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන සමයේ ලක්දිව සේවය කළ වෛද්‍ය ජෝන් ඩේවි පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වැඩවසම් ක‍්‍රමය පිළිබඳ ලාඤ්චනයකුදු දැකගත නොහැකි බවයි.   ලක්දිව වැඩවසම් ක‍්‍රමයක් වූයේ යැයි අදහා විවිධ ලේඛකයින් විසින් ඉදිරිපත් කර ඇති මේ මිථ්‍යා පිළිගැනීම නිසා සිංහල සංස්කෘතියට බලවත් අසාධාරණ අර්ථ ගැන්වීමක් සිදු ව ඇත.  එසේ ම යටත් විජිත චින්තනයෙන් ලත් ආභාසයෙන් ජී. සී. මෙන්ඩිස් ඇතුළු ලේඛකයන්  විසින් ලංකාවේ ප‍්‍රතිෂ්ඨාපිත වැඩවසම් මිථ්‍යාව ප‍්‍රතික්ෂේප කිරීමට මේ කාලයයි.  තත් මතවාදය නිසා සිංහල සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ කවරනම් මිථ්‍යා මතවාද නිර්මාණය කර ඇත්දැයි සොයා බලා ඊට නිසි පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කාර්යයක් බව සඳහන් කළ යුතු ව ඇත.

 

Posted in සාහිත්‍ය විචාර | Leave a comment