සිංහල නාට්‍යයේ ප‍්‍රභවය පිළිබඳ අධ්‍යයනයේ නියුතු වූ පුරෝගාමී පර්යේෂකයන් අතරින් ප‍්‍රමුඛයා වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ඔහු විසින් 1952 වර්ෂයේ දී පළ කරන ලද The Folk Drama of Ceylon නමැති කෘතිය පසු කාලීන ව සිංහල නාට්‍ය ප‍්‍රභවය පිළිබඳ පර්යේෂණය කළ බොහෝ දෙනාට මාර්ගෝපදේශය සැපයූ අත්පොත බවට පත් විය. 1968 දී මේ කෘතිය සිංහල ගැමි නාටකය නමින් සිංහල භාෂාවෙන් ද පළ වූ අතර එවක් පටන් වර්තමානය දක්වා පාසල් අධ්‍යාපනයේ මෙන් ම විශ්වවිද්යාල අධ්‍යයන පටිපාටියේ ද ඉතා ඉහළ සම්භාවනාවට පත් වූ මූල ග‍්‍රන්ථයක් බවට පත්ව ඇත. මේ කෘතියෙන් සිංහල නාට්‍ය කලාවේ ප‍්‍රභවය පිළිබඳ විශ්ලේෂණයෙහි යෙදෙන සරච්චන්ද්‍ර ඇදුරුතුමා ලක්දිව ක‍්‍රියාත්මක වූ ථෙරවාදී බුදු සමය නිසා දියුණු නාට්‍ය කලාවක් ඇති නො වූ බව නිගමනය කරයි. යම් තරමකින් හෝ දියුණු නාට්‍ය ලක්ෂණයන්ගෙන් සමන්විත වූ නාට්‍ය පිළිබඳ ව ලාංකිකයා ආභාසයක් ලැබූයේ කතෝලික මිෂනාරි ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් ලෙසින් ඇතිවූ නාඩගම් සම්ප‍්‍රදාය නිසා බව එතුමෝ විශ්වාස කළහ. සරච්චන්ද්‍රයන් විසින් එලිදක්වන ලද මේ මතය පසුකාලීන ව බොහෝ දෙනෙකුග ම පිළිගැනීමට හේතුවක් වන්නේ ලක්දිව නාට්‍ය කලාවේ මංසලකුණු දැකවීමෙහි ලා නාට්‍ය නිෂ්පාදකයෙකු වශයෙන් එතුමා අත්පත් කරගත් අනභිභවනීයත්වයත් විශ්වවිද්යාල මහාචාර්ය වරයෙකු වශයෙන් තමන් ආශ‍්‍රයෙහි ශාස්ත්‍රොද්ග‍්‍රහණය කළ විද්යාර්ථීන් රාශියක් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ නියුතු වූ බැවිනුත් ය.
සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණයන්ගෙන් අනතුරුව ලක්දිව නාට්‍ය කලාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කළ බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වූයේ පැරණි ලක්දිව දියුණු නාට්‍ය කලාවක් නො වූ බව ය. වෙනත් ආකාරයකින් පැවසුව හොත් සරච්චන්ද්‍රයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ මතය පසුකාලීන ලේඛකයින් විසින් සදාදරණීයව ගෙෳරවබහුමානයෙන් යුතුව අනුගමනය කරනු ලැබූ බවයි.
අතීතයේ සිට ලක්දිව පැවත එන සිංහල නාට්‍ය සම්ප‍්‍රදායයන් වූ සොකරි, කෝලම් සහ කවිනළු හෙවත් නාඩගම් විදග්ධ සම්ප‍්‍රදායයන් නො ව ගැමි හෙවත් ජන නාට්‍ය සම්ප‍්‍රදායයන් ලෙස හැඳීන්වීමට බොහෝ දෙනා පෙලඹ සිටිති. මේ මතය මෙසේ තහවුරු වන්නේ ද සරච්චන්ද්‍රයන්ගේ කෘතිය මගින් එම සම්ප‍්‍රදායයන් ජනනාට්‍ය ලෙසින් හැඳින්වීම ය. මේ නිගමනයට පැමිණීමට ඔවුන් පෙලඹ වූ ශාස්ත‍්‍රීය හේතු යුක්තීන් මොනවාදැයි ඔවුහු කිසිතැනක පැහැදිලිව සඳහන් නොකරති. එබැවින් හේතු යුක්තීන්ගෙන් තොර ව ඉදිරිපත් කෙරෙන මෙවැනි කරුණු ශාස්ත‍්‍රීය ගෞරවයට තරම් නො වේ.
අතීතයේ සිට පැවති මේ රංග සම්ප‍්‍රදායයන් ජනනාට්‍ය ලෙස හැඳින්වීමේ යුක්ති යුක්ත භාවය අවබෝධ කරගැනීම සඳහා ජන සම්ප‍්‍රදාය යනු කුමක්දැයි වටහා ගත යුතු ය. ජන නැටුම්, ජන සංගීතය, ජන කතා ආදී වූ ජන කලාංගයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මූලික වන්නේ ජනශ‍්‍රැතියයි. ජනශ‍්‍රැතිය පිළිබඳ අපරදිග විද්වතුන්ගේ අවධානය යොමු වන්නේ දහනව වැනිි සියවසේ මැද භාගයේ සිට ය. එහි දී ඔවුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ යුරෝපයේ පැවති වැඩවසම් සමාජයේ ජීවත් වූ ප‍්‍රවේණි දාස ප‍්‍රජාව හෙවත් වහලුන් පිළිබඳ අධ්‍යයනයේ යෙදීම ය. මෙහි දී සමාජයේ වරප‍්‍රසාද ලාභී ප‍්‍රභූන්ගෙන් සාක්ෂරතාවෙන් වියුක්ත වූ පිටිසර ගැමියන් නො එසේනම් වහල් ශ‍්‍රමික ගොවීන්ගේ සංස්කෘතිය වෙන් කර හැඳින්වීම සඳහා භාවිත වූයේ ජනසම්ප‍්‍රදාය (folk tradition) යන යෙදුමයි. එහි දී ප‍්‍රභූන් ආශ‍්‍රයෙහි පැවති සාද නැටුම් හෙවත් බාල් නැටුමෙන් (ballroom dance) වැඩවසම් ශ‍්‍රමිකයාගේ නර්තනය වෙන්කර හැඳින්වීම සඳහා භාවිත යෙදුම වූයේ ජන නැටුම් (folk dance) යන්නයි. මෙහි දී වරප‍්‍රසාදිත ප‍්‍රභූන්ගේ කලාව මහා සම්ප‍්‍රදාය ලෙසත් වැඩවසම් ශ‍්‍රමිකයාගේ කලාව චූල සම්ප‍්‍රදාය ලෙසත් වර්ගීකරණයට ලක් විය.
ජන නැටුම් යන යෙදුම භාවිතයට පැමිණි අවස්ථාවේ එය අර්ථ කථනය වූයේ එක්තරා ආර්ථික හා සමාජ ස්තරයකට අයත් එසේ ම යම් නියත වූත් විශේෂ වූත් ප‍්‍රදේශයක් නියෝජනය කරන්නාවූත් යම් ජන සමාජයක සාමාජිකයින් විසින් සංදර්ශනාත්මක අවශ්‍යතාව මෙන් ම විශ‍්‍රාන්තිය උදෙසා සාම්ප‍්‍රදායානුකූල ව පවත්වන්නා වූ රංගන විශේෂයක් ලෙසිනි. වඩාත් සරල ව පැවසුව හොත් එය වැඩවසම් සමාජයේ කාෂිකර්මයෙන් යැපුණු වහල්ජන කණ්ඩායම් හෙවත් ප‍්‍රවේණි දාස සමාජයන්හි සාමාජිකයන් විසින් රඟදක්වන ලද නර්තන විශේෂයක් සේ හැඳින්විය හැකි ය.
සොකරි කෝලම් කවිනළු සම්ප‍්‍රදායයන් රංගගත වූයේ නර්තනය පදනම් වීමෙනි. සාමාන්‍ය ජනයා මේ සම්ප‍්‍රදායයන්හි රංගනය කෝලම් නැටීම, සොකරි නැටීම හෝ නාඩගම් නැටීම ලෙසින් හැඳින්වූයේ එබැවිනි. මෙහි දී අප විසින් ජන නැටුම යනු කුමක් ද? ජන නැටුමට ආවේණික ලක්ෂණ මොනවාදැයි හැඳින ගැනිීම වැදගත් වන්නේ මේ රංග සම්ප‍්‍රදායයන් ජන මුද්‍රාවෙන් හෙවත් වහලුන්ගේ කලාවෙන් හැඳින්වීම කෙතරම් අසාධාරණ දැයි අවබෝධ කරගැනීම සඳහා ය.
ජන නැටුමට ආවේනික ලක්ෂණ කිහිපයකි. ජන නැටුම ඍජු ව ම ප්රේක්ෂක සාහභාගිත්වයක් අපේක්ෂා නො කරයි. අදාළ අවස්ථාවට සහභාගි වන ජන කණ්ඩායමට අයත් සියල්ලන්ගේ ම සහභාගිත්වයෙන් නර්තනය ඉදිරිපත් කෙරේ. රංගනයේ නිරත වන්නන්ගේ වින්දනය ප‍්‍රමුඛ කොට පවත්වන්නක් බැවින් මෙහි දී ප්රේක්ෂක වින්දනය පිළිබඳ එතරම් අවධානයක් යොමු නො වේ.
ශාස්ත‍්‍රීය හෝ වෘත්තීය ශිල්පීන්ගේ රංගනයන්හි මෙන් නො ව පොදුවේ ජන නැටුමේ දී භාවිත වන්නේ නැවත නැවතත් භාවිත වන සරල පියවරයන් (අඩි) ය. රංගනය ඉගැන්වීම හෝ ඉගෙනීම සඳහා ආයාසයක් නොගත් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ජන නැටුම අදාළ ජන සමාජයේ ඕනෑ ම සාමාජිකයකුට පහසුවෙන් අනුකරණය කළ හැකි අන්දමින් නිර්මාණය වූවකි. රංගන ශිල්පින් නො වන සාමාන්‍ය ජනයාගේ සහභාගිත්වයෙන් සිදු වූ ජන නැටුමෙහි දී භාවිත වූයේ ලුහුඬු ප‍්‍රකාශන පුනරුච්චාරණය කිරීම හා සරල අංග චලනයන් ය.
එක් එක් ජන කණ්ඩායමට අනුව නැටුමෙහි ස්වරූපය වෙනස් විය. ඇතැම් යුරෝපා පරිසරයක දී පියවර තැබීමේ රටා අවධාරණය කරමින් උඩුකය චලනයට ප‍්‍රමුඛත්වයක් දෙයි. ස්ත‍්‍රීන්ගේ හා පුරුෂයන්ගේ චලන වෙනස් වේ. පූරුෂයෝ තාණ්ඩව විලාශයෙන් වේගයෙන් පාදය භූමියෙහි ඝර්ෂණය කරමින් ආකර්ෂණීය ව නර්තනෙයෙහි යෙදෙති. කාන්තාවෝ ද ලාලිත්‍යමය අන්දමින් ලාස්‍ය රංගනයෙහි යෙදෙති.
රංගනයෙහි දී අවකාශයේ හැසිරීමේ දී සහ ඉදිරියට යාමේ දී භාවිත වන නර්තන රටා ජ්‍යාමිතික හැඩයන් ගනු ලබයි. මෙහි දී වෘත්තාකාර බව වඩාත් අවධාරණය වේ. සාමුහිකත්වය ඔප්නැංවීමේ දී මෙම නර්තන ශෛලිය වඩාත් කැපී පෙනේ. නර්තකයන් එකිනෙකා පිටුපසින් හෝ එකිනෙකාට යාබද ව හෝ එකිනෙකාගේ අත් අල්ලා ගැනීම, ඉන වටා හෝ උරහිස වටා අත් යවා හෝ එකිනෙකාගේ බඳපටිවලින් අල්ලා ගෙන හෝ රංගනයේ යෙදීම මෙහි දී දැකිය හැකි මූලික ලක්ෂණයකි.
මේ ජනනැටුම්වල දී සංගීතය අත්‍යවශ්‍ය අංගයක් විය. වාචික අභිනය අනිවාර්ය නො වූව ද ගායනයක් වූයේ නම් එය රංගනයෙහි ප‍්‍රභාව වර්ධනයට හේතු විය. නර්තකයෝ තම ඇඳුමට සවිකරගත් කයිතාලම්, ගිගිරි වැනි භාණ්ඩ මගින් නැටුමට උචිත සංගීතය නිපදවා ගනිති. එක්කෝ පයෙහි ගිගිරි පැලඳ ගනිති; ඇතැම් විටෙක තම පාදය තාලය නිපදවා ගන්නා භාණ්ඩයක් බවට පත්කර ගනිති; නැතහොත් අත්පුඩි ගසති; නැතහොත් අසුරුසන් ගසති; නොඑසේ නම් තම පය තදින් පොළොවේ ගටති; යෂ්ටි රැගෙන කරන නැටුමක දී නම් එය පොළොවේ ගටා නැටුමට අවැසි හඬ නිපදවා ගනිති; ප‍්‍රීතිය දනවන ආලාප ගායනා කරති.
මේ නැටුම්වල දී රංගනයේ ප‍්‍රභාව වර්ධනය පිණිස විවිධ විලාසිතාවෙන් යුතු සාම්ප‍්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිත වේ.
ජන නැටුම් පැවැත්වෙන්නේ සාමාජික අවශ්‍යතාව මත බැවින් ඒවා යම් ආගමක හෝ ජන ජීවිතයට හෝ අදාළ ව සංස්කාරමය අවස්ථාවක දී හෝ රඟ දැක්විය හැකි ය. කෘෂිකාර්මික සමාජයක දී තම ප‍්‍රජාවෙහි ආර්ථික ජීවිතය හා බද්ධ වන අවස්ථාවන්හි මේ රංගන පැවැත්වේ. ක්ෂේත‍්‍රය ශුද්ධ කිරීම, බීජ වැපිරීම, අස්වනු නෙලා ගැනීම වැනි අවස්ථා මෙයට නිදර්ශන වේ. පැහැදිලි ඍතු විපර්යාසයන් ඇති යුරෝපාදී රටවල ඍතු වෙනස් වීම අළලා ද, ඇතැම් විටෙක වෘත්තීය ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ ව ද මේ නැටුම් පැවැත් වේ. තත් නැටුම් පදනම් ව ඇත්තේ වෘත්තීය ක‍්‍රියාකාරිත්වයෙහි භාවිත අංග චලනයන් පදනම්කර ගනිමිනි. තමන් කරන රැකියාවේ වෙහෙස නිවා ගැනීම, තම කාර්යය වඩාත් ප‍්‍රසන්න වූවක් බවට පත්කර ගැනීම මෙහි පරමාර්ථය වේ. පුද්ගල ජීවිතය හා බැඳුණු උපත, උපනයනය, වැඩිවියට පැමිණීම, විවාහය, නිලතල ලැබීම ආදී ජීවන සංස්කාරයන් අරභයා පැවැත්වෙන උත්සවයන්හි දී ද ජන නැටුම භාවිත විය.
ජන නැටුම පාරම්පරික ව දායාද වන්නක් බැවින් එම රංගයෙහි නර්තන රචකයා අඥාත ය. එය එක් අයෙකුගේ හෝ සාමුහික වෑයමක ප‍්‍රතිඵලයක් වශයෙන් හෝ වර්ධනය වූවකි. තව ද මෙයින් පෙනී යන්නේ ජන ජීවිතයේ අවශ්‍ය අංගයක් ව පවත්නා තාක් කල් ජන නැටුම ඒවා හා බැඳුණු විශේෂ අවස්ථා සමග පවත්නා අතර ඒවා නියත පුද්ගල හා සමාජ කණ්ඩායම් හා බැඳී ඇති බවයි. ඉන් බැහැර වූ කල්හි ඒවායේ පැවැත්ම ඉදිරියට ගලා නො යයි. ජන නැටුම එක් එක් ජන කණ්ඩායමක අනන්‍යතාව හා ජාතිකාභිමානය විදහා දක්වන සංකේතයක් ලෙසින් ද හැඳින්විය හැකි ය.
එසේ වුව ද මේ රංගන වර්තමානයේ යුරෝපයේ මෙන් ම ඇමරිකාවේ ද ජන නැටුම් ලෙසින් හැඳින්වීමෙන් ඉවත් වී ගොස් ඇත. එයට හේතුව වන්නේ වැඩවසම් සමාජයේ සාක්ෂරතාවෙන් තොර වූ වහල් ශ‍්‍රමිකයන්ගේ කලාව හැඳින්වීම සඳහා ජන සම්ප‍්‍රදාය යන්න යෙදීමෙන් යම් අවමානාත්මක අදහසක් ගැබ් වීම ය. එවක එම ශ‍්‍රමිකයන් වහලුන් හෝ ප‍්‍රවේණි දාසයන් ලෙසින් ජීවත් වූ අතර, ඉතා අයහපත් ජීවන ක‍්‍රමයක් හිමි කර දුන් තත් අශිෂ්ට සමාජ ආර්ථික ක‍්‍රමයේ දී වූ එම අවමානාත්මක භාවිතය තවදුරටත් යෙදීමෙන් වැළකීමට පියවර ගෙන ඇත. ඒ සඳහා වර්තමානයේ සාම්ප‍්‍රදායික නැටුම (traditional dance) හෝ ජනවාර්ගික නැටුම(ethnic dance) යන්න භාවිත වේ.
සාම්ප‍්‍රදායික සිංහල නැටුම් ද ජන සම්ප‍්‍රදායෙහි ලා සැලකීමට බොහෝ ලේඛකයින් පෙලඹ ඇති බව පෙනේ. පූර්වෝක්ත පරිදි වැඩවසම් සමාජයන්හි පැවති ජන සම්ප‍්‍රදායයන්හි සාක්ෂරතාවෙන් තොර වූ ජනයාගේ කලාව හැඳින්වූ යෙදුමෙන් සිංහල නාට්‍ය හෝ නැටුම් හැඳින්වීම ශාස්ත‍්‍ර යුක්තියෙන් තොර වූ අවභාවිතයකි. යටත් විජිත බලපෑමත් මිෂනාරි අධ්‍යාපනයත් නිසා ඇති වූ මේ අවභාවිතය ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යයන විෂය මාලාවේ පමණක් නො ව විශ්වවිද්යාල පද්ධතියෙහි විෂය මාලාවන්ගෙන් පවා තහවුරු කර තිබීම බෙහෙවින් අශාස්ත‍්‍රීය වූ කාර්යයකි. යටත් විජිත චින්තනයට ගැති වූ මේ නිගමන නිර්දය ලෙසින් ප‍්‍රතික්ෂේප කිරීමට කාලය දැන් එලඹ ඇත. මෙහි දී ශ‍්‍රී ලංකාවහි ද වැඩවසම් ක‍්‍රමය භාවිත වූයේ ය යන මිථ්‍යා මතය ද තතහවුරු කිරීමට ඇතැම් ලේඛකයන් හා අධ්‍යාපනඥයන් විසින් උත්සාහ ගනු ලැබ ඇත.
වැඩවසම් ක‍්‍රමය වූ කලි මධ්‍යතන යුරෝපයේ පැවති දේශපාලන අර්ථ ක‍්‍රමයකි. වර්තමානයේ බොහෝ දෙනා එම අර්ථ ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ද ක‍්‍රියාත්මක වූ බවට පිළිගනිති. එම පිළිගැනීම තදබල මිථ්‍යාවකි. පූර්වෝක්ත පිළිගැනීම නිසා ශ‍්‍රී ලංකාවේ ඇතැම් සංස්කෘතිකාංග පිළිබඳ ඇගයීමේ දී සාවද්‍ය මතවාද බිහි ව තිබේ.
ජන සම්ප‍්‍රදායෙහි දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ නිර්මාණ කාර්යෙහි යෙදෙන තැනැත්තා සාක්ෂරතාවෙන් තොර වීම නිසා එම නිර්මාණය කිරීමෙහි දී එය ලිඛිත සාහිත්‍යයක් ලෙසින් බිහි නො වීමයි. ඉන් අනතුරුව එම නිර්මාණය කටවහරෙන් පැවතීම සම්ප‍්‍රදාය වන්නේ ය. එබැවින් ජන සාම්ප‍්‍රදායික උරුමයන් ඉතා සරල වන්නේ ය. මේ හේතුවෙන් එය ඊළඟ පරම්පරාවට නිතැතින් ම ලබාගත හැකි වේ. ඒ සඳහා ගුරු ආශ‍්‍රය අවශ්‍ය වන්නේ නැත. නිදර්ශන වශයෙන් ආදිවාසීන්ගේ නැටුම් සලකා බලන්න. ඔවුන් තම උරුමය ලබා ගන්නේ ගුරු ආශ‍්‍රයෙන් නො ව වැඩිහිටියන් අනුකරණයෙනි. ඒ සඳහා ශාස්ත්රීය දැනුමක් අවශ්‍ය නො වේ.
එහෙත් පූර්වෝක්ත සිංහල නාට්‍ය සම්ප‍්‍රදායයන් ශාස්ත්රීය නර්තන හා සංගීත පදනමක් මත නිර්මාණය වූ ඒවා ය. තත් නාට්‍ය විශේෂයෙන් කෝලම් සහ කවිනළු ගුරූපදේශ සහිත ව ශාස්ත්රීය පදනමක සිට උගත යුතු වන්නේ ය. එසේ ම සාහිත්‍යාත්මක වැදගත්කමකින් යුතු ලිඛිත නාට්‍ය පෙළක් ද මෙහි දී දැකගත හැකි ය. සාක්ෂරතාවෙන් තොර ජන සමාජයක නාට්‍ය පිටපතක් බිහි විය නො හැකි ය. නාට්‍යයක් නිර්මාණය වීම සඳහා නාට්‍ය පිටපතක් අනිවාර්ය වන්නේ ය. මෙයින් පැහැදිලි වන්නේ වැඩවසම් සමාජයක වහලුන් හෙවත් ප‍්‍රවේණි දාසයන් ආශ‍්‍රයෙහි නාට්‍ය කලාවක් බිහි නො වන බව ය. එසේ නම් ජන නාට්‍ය ලෙසින් නම් කළ හැකි සෞන්දර්ය කලා විශේෂයක් තිබිය නොහැකි ය.
ශ‍්‍රී ලංකාවේ කිසිම දිනෙක වැඩවසම් පාලන තන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක නොවිණි. ප‍්‍රවේණි දාස ක‍්‍රමයක් හෝ වහල් සමාජයක් ද නො විණ. සාක්ෂරතාවෙන් යුතු ජන සමාජයක් ඉතිහාසය පුරා ක‍්‍රියාත්මක වූ අතර ප‍්‍රභූවරයාගේ සිට සමාජයේ පහළ ම ස්තරයේ සිටි සාමාන්‍ය සාමාජිකයා දක්වා ම සාක්ෂරතාව ලැබීමට අයිතියක් තිබිණ. එබැවින් මේ නාට්‍ය සම්ප‍්‍රදායයන් විදග්ධ සමාජයේ බිහි වූ නාට්‍ය ගණයෙහි ලා සැලකිය යුතු අතර, ඒවා ජන සම්ප‍්‍රදායෙහි ලා සැලකීම ශාස්ත‍්‍රීය යුක්තියෙන් තොර වූවකි.
කවිනළු හෙවත් නාඩගම (මේ ලේඛකයා නාඩගම යන යෙදීම තත් නාට්‍ය හැඳීන්වීම සඳහා භාවිත නොකරයි. කුමක් නිසා ද යත් මේ නාට්‍ය නිර්මාණය කළ කිසිදු නාට්‍ය රචකයෙක් තම නාට්‍ය හැඳින්වීම සඳහා නාඩගම යන පදය භාවිත නොකළ හෙයිනි.) කවිනළුව, කෝලම හෝ සොකරි නාටකය අලිඛිත නිර්මාණ නො වන අතර මුද්‍රිත පිටු දෙතුන්සියයකින් යුක්ත වන අතර පිලිප්පු සිඤ්ඤෝ වැනි රචකයින්ගේ නිර්මාණ හැරුණුු විට බොහෝ කව්නළු රචනා කාව්‍යමය ගුණයෙන් යුතු වන අතර දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය භාවිතයෙන් අදාළ ගී තනු නිර්මාණය කරතිබීමත්, 19වන සිය වසෙහි කවිනළු රචනයෙහි යෙදුණු බොහෝ ලේඛකයෝ සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන්හි හසළ දැනුමකින් යුතු එමෙන්ම ඇතමෙක් ඉංග‍්‍රිසි දැනුමෙන් ද යුක්ත වූ යටත් විජිත නිලධාරීන් වීම ද කවිනළුවට ජන මුද්‍රාව තැබීමේ යුක්තියක් නොවන බව පැහැදිලි කරයි.
අප විසින් පූර්වයෙන් සඳහන් කරන ලද ජනනැටුමෙහි කිසිදු ලක්ෂණයක් කවිනළුව ඇතුළු සිංහල සාම්ප‍්‍රදායික රංගනයන්හි අන්තර්ගත නො වන අතර එහි භාවිත නර්තනය ද භරතමුනි අනුදත් නර්තන පාදක කොට ගෙන නිර්මිත වූ ඒවා ය. එබැවින් කවිනළු ආදී සිංහල රංගන විදග්ධ සම්ප‍්‍රදායට අයත් වූ නිර්මාණ ලෙසින් ම හැඳින්වීම ශාස්ත‍්‍ර යුක්තිය වන්නේ ය.
තවද සරච්චන්ද්‍ර ඇදුරු තුමාගේ පිළිගැනීම අනුව කවිනළුව මිෂනාරි ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වන්නේ නම් (මේ ලේඛකයා එම මතය තරයේ ප‍්‍රතික්ෂේප කරයි) අදාළ මිෂනාරීහු සාක්ෂරතාවෙන් තොර වූවන් නො වන බැවින් ද ඔවුන් නාගරික සංස්කෘතියට අයත් විද්වත් ජනයා බැවින් ද එවැන්නන් අතින් එතුමන් විසින් ගැමි හෝ ජන මුද්‍රාවෙන් හඳුන්වා ඇති අවිදග්ධ රචනා බිහි වීම හෝ එයට අනුග‍්‍රහ දැක්වීමක් සිදුවිය හැකිදැයි කල්පනා වූයේ නම් මෙවැනි සාවද්ය නිගමනයකට සරච්චන්ද්‍ර මහාචාර්යතුමා නො එලඹෙනු ඇත. මක් නිසා ද යත් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ උපකල්පනය තමන් අතින් ම නිශේධනයට ලක්වෙන බැවිනි.
මහාචාර්ය ගාමිණී දෑළ බණ්ඩාර