අවදිවන්න.

අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක ලිඛිත ඉතිහාසයක් ශ‍්‍රී ලංකාව සතු ව පවති.  දීපවංස, මහාවංස ආදි වංස කථා ඉදිරිපත් කෙරෙන්නේ ලක්දිව් වාසීන්ගේ ඒ ඉතිහාස කථාව යි.  නොයෙක් ජාතීන්ගේ විවිධ සම්බන්ධතා පිළිබඳ ව එහි දී දැකගත හැකි වුවත් එයින් වඩාත් අවධාරණය වන්නේ සිංහල ජාතියේ උරුමය පිළිබඳ කථාන්තරය යි.  සිංහලයාගේ ඉතිහාසය පමණට ම සිංහල භාෂාවේ ඉතිහාසය ද පැරණි වන්නේ ය.  භාෂාවේ ඉතිහාසයේ තරමට ආසන්න සාහිත්‍යය ඉතිහාසයක් ද සිංහලයා සතු ව ඇත.

සාහිත්‍යයක් නොමැති වූ විට භාෂාවක් නොපවත්නේ ය යන ධර්මතාව මත සිට සලකා බලන කල්හි වර්තමානයේ සිංහල භාෂාවේ සහ සාහිත්‍යයේ චිරජීවනයට බාධා මතුවෙමින් පවත්නා බව අපගේ වැටහීම යි.  එම බාධක පිළිබඳ කෙටි පහැදිලි කිරිමක් සහ එයින් මිදීමට ඇති මාර්ග පිළිබඳ පැහැදිලි කිරීම මේ ලේඛනයේ අභිපේ‍්‍රථාර්ථය වන්නේ ය.

මිහිඳු මාහිමියන් විසින් ශ‍්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ආගම පමණක් නො ව භාෂා සාහිත්‍යය ද භික්ෂූන් වහන්සේගේ භාරයෙහි ආරක්ෂා වෙමින් වර්ධනය වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වේ.  භික්ෂූන් වහන්සේගේ සහ ගිහියන්ගේ භාෂා ශාස්ත‍්‍රීය සේවාවන් සඳහා අපගේ රාජ්‍ය පාලකයින්ගෙන් නොමඳ අනුග‍්‍රහයක් ලැබිණ. රාජානුග‍්‍රහය නොලැබුණු අවස්ථාවන්හි ආගම පමණක් නො ව භාෂා සාහිත්‍යය ද පිරිහී ගිය ආකාරය ලක් ඉතිහාසයෙහි විවිධ වකවානුවල දී දැකගත හැකි ය.  දේශීය මෙන් ම විදේශීය බලපෑම් මත සිංහල භාෂා සාහිත්‍යයට ඇති වූ ව්‍යසනකාරි අවස්ථා අනුරාධපුර, පොළොන්නරු සීතාවක හා නුවර රාජ්‍ය සමයන්හි දී ඇති වූ ආකාරය මෙවැනි ව්‍යසනයන්ට නිදර්ශන වෙයි.

සිංහල සාහිත්‍ය වංශයේ විශිෂ්ට නිර්මාණ බිහි වූ අවධීන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනීයන වැදගත් ම කරුණක් වන්නේ තත් යුග දේශපාලන වශයෙන් ස්ථාවර ව හා ආර්ථික වශයෙන් සමෘද්ධි සම්පන්න ව පැවති බව යි.  එවන් අවධීන්හි රාජ්‍ය පාලනයෙහි යෙදුණු නරපතිහූ භාෂා සාහිත්‍ය ශාස්ත‍්‍රාදියෙහි උන්නතිය සඳහා  මනා අනුග‍්‍රහයක් දැක්වූහ.

සාහිත්‍යකරණයට රාජ්‍ය නායකයින් ඍජු ව ම මැදිහත් වූ අවස්ථා ඉතිහාසයේ විරල නො වේ.  අනුරාධපුර සමයේ සිට සිංහල රාජ්‍ය අවසානය දක්වා මේ සඳහා අපට සාධක දැකගත හැකි ය.  නව වන සිවසෙහි ලියැවුණු සියබස්ලකර සංස්කෘත අලංකාරවාදියකු වන වන දණ්ඞී නම් ආචාර්ය වරයාගේ කාව්‍යාදර්ශය අනුව යමින් කරන ලද නිර්මාණයකි.  මෙය සේන සලමෙන් රජතුමාගේ කෘතියකි.  ඉන් අනතුරු ව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අබාසලමෙවන් කසුබ් (පස් වන කාශ්‍යප) මහරජතුමන් අතින්  ධම්පියා අටුවා ගැටපදය ලියැවිණි.  දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජතුමන් අතින් සිංහලයේ විශිෂ්ට තම මහාකව්‍ය වූ කව්සිළුමිණි කුසදාව  නිර්මාණය විය.  එපමණක් නො ව සන්‍ය පොත් අතර ප‍්‍රමුඛස්ථානය ගත් විසුද්ධි මාර්ග මහා සන්‍ය ද මෙතුමාගේ කෘතියකි.  කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුරයේ හය වැනි සිරිපැරකුම්බා රජතුමා විසින් නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝණ්ඩුව නම් වූ කෝෂ ග‍්‍රන්ථය ලියූ අතර එතුමාගේ දියණිය වූ උලකුඩය දේවියගේ ස්වාමියා වූ නන්නූර්තුන් මිණිසන්නස් මැති විසින් නාමාවලිය නම් වූ කෝෂ ග‍්‍රන්ථය කරන ලදි.  අසදිසදා කව මහනුවර සමයේ රජ කළ ශබ්ද ශාස්ත‍්‍ර විෂයෙහි දක්ෂයකු වූ රාජාධි රාජසිංහ රජතුමාගේ කෘතියකි.

රාජකීයයන් මෙසේ සාහිත්‍යකරණයෙහි දෙමින් භාෂා ශාස්ත‍්‍ර විෂයෙහි දායක වූ අතර සාහිත්‍යකරණයෙහි යෙදුණු වියතුන් කෙරෙහි වූ රාජානුග‍්‍රහය ද සාහිත්‍යකරණයෙහි පිටුබලයක් විය.  පොළොන්නරුවේ ලීලාවති රැජනගේ රාජ්‍ය සමය සාහිත්‍ය උන්නතියට අනුග‍්‍රහය දැක්වූ සමයෙකි.  එකල්හි ලියැවුණු සසදාවතෙහි මෙසේ සඳහන් වන්නේ එබැවිනි.

කළ ලො සසුන් වැඩ – ලීලාවතී හිමි සඳ
පළකළ දහම් රජසිරි – මවැටුම්හි පිටුබලවී

(ලො සසුන් වැඩකළ ලීලාවතී රැජිනිය පළකළ දහම් රජසිරිය මාගේ කාව්‍යකරණයට පිටුබල විය.)

මයුරපාද පිරිවන්පති බුද්ධපුත‍්‍ර මාහිමියෝ පූජාවලිය නිර්මාණය කිරීමෙහි මෙහෙය වුණු එක් කරුණක් වන්නේ ද්විතීය පරාක‍්‍රමබාහු නම් නරපතිහට ම අනුශාසනා පිණිස බව දක්වති.  එය ලියැවුණේ දෙවප‍්‍රතිජ අමාත්‍යවරයා නොයෙක් වර කළ ආරාධනයෙනි.  සතර වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ මෙහෙය වීම මත කුරුණැගපුර යුගයේ දී පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලියවිණි.  දළදා සිරිත ද ලියැවුණේ එතුමාගේ අදහසක් අනුව ය.  විල්ගම්මුල මහා ස්මාමීන් වහන්සේ විසින් සිංහල බෝධි වංසය හා අනාගත වංසය  ලියන ලද්දේ ද මේ රජතුමාගේ ආරාධනයෙනි.  තොටගමුවේ ශ‍්‍රී රාහුල මාහිමියෝ උලකුඩය දේවියගේ ආරාධනයෙන් කාව්‍යසේකරය ලිවූහ.  ශ‍්‍රී විජය රාජසිංහ රජතුමන්ගේ ආරාධනය නිසා වැලිවිටියේ අසරණ සරණ ශ‍්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ අතින් සාරාර්ථදීපනී (සතරබණවර සන්නනය) ලියැවිණි.

ඉහතින් සඳහන් කරන ලද්දේ අතීතයේ දී අප සිංහල රාෂ්ට‍්‍ර පාලකයින්ගෙන් සිංහල භාෂා ශාස්ත්‍රෝන්නතිය සඳහා සිදු වූ සේවාවන්ගෙන් කැපී පෙනෙන අවස්ථා කිහිපයකි.  මෙයින් අපට පෙනී යන්නේ අතීතයේ වූ සාහිත්‍ය දියුණුවට රාජ්‍ය අනුග‍්‍රහය කෙතරම් ලැබුණේ ද යන්න ය.

පෘතුගීසි හා ලන්දේසි යටත් විජිතවාදීන්ගේ පීඩනයට හසුව ලක්දිව මුහුදුබඩ පළාත් වර්ෂ තුන්සියයක පමණ කාලයක් ද ඉංග‍්‍රීසින්ට යටත් ව මුළු දිවයින ම අවුරදු එකසියපණහක පමණ කාලයක් ද පැවතිය ද සිංහලයා තමන්ගේ අනන්‍යතාව නැති කර නොගත් ආකාරය දහනව වන සියවසේ මැද භාගයෙන් පසුව වර්ධනය වූ ජාතික ව්‍යාපාරයෙන් පැහැදිලි වන්නේ ය.

යුනෙස්කෝ ආයතනය විසින් පූර්වකථනය කර ඇති ආකාරයට 21 වන සියවස අවසානයේ මේ මිහිතලයෙන් වඳ ව යන ජන කොට්ඨාසයන් අතරට සිංහල ජාතිය ද ඇතුළත් කර ඇත.  මේ පූර්ව කථනය සත්‍යයක් බවට පත් වීමට 21 වන ශත වර්ෂය අවසන් වනතෙක් සිටිය යුතු නැතැයි අපට හැඟී යන ආකාරයේ පෙරනිමිති වර්තමානයේ පහළ වෙමින් පවතී.  බටහිර ආක‍්‍රමණිකයන් හමුවේ වර්ෂ හාරසිය පණහක පමණ කාලයක  හානියට පත් කළ නොහැකි වූ සිංහල භාෂා සාහිත්‍ය නිදහස් ස්වෛරී ශ‍්‍රී ලංකාවේ පසුගිය අර්ධ ශතවර්ෂයක කාලය ඇතුළත පරිහානියට පැමිණෙමින් ඇති ආකාරය කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ව ඇත.

ලෝකයේ දියුණු භාෂා සාහිත්‍යයක් ඇති සෑම රටක ම තම භාෂාව හා සාහිත්‍යය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ව පවති.  භාෂාවේ වර්ධනය ඇති වන්නේ සාහිත්‍ය අනුසාරයෙනි.  විවිධ ලේඛකයන් විසින් නිර්මාණය කරනු ලබන විවිධ සාහිත්‍ය කෘතීන්ගෙන් භාෂාව පෝෂණය වේ.  තත් සාහිත්‍ය කෘති පරිශීලනයෙන් භාෂාව ග‍්‍රහණය කරගැනීමට විද්‍යාර්ථීන්ට හැකියාව ලැබේ.  එසේ වුව ද අවාසනාවකට මෙන් අප රටෙහි භාෂා සාහිත්‍ය අධ්‍යාපනයට එවැනි ප‍්‍රමුඛත්වයක් ලැබී නැති බව පෙනී යයි.   අධිරාජ්‍යවාදී පාලන යුගයෙහි දී පවා අනිවාර්ය පාසල් විෂයයක් ව පැවති සාහිත්‍ය විෂය දැන් පාසල් පද්ධතියෙන් ඉවත් ව අවුරුදු හතළිස් හතරකට ආසන්න කාලයක් ගත ව ඇත.  කෙතරම් හඬ නැගුව ද එය නැවත පාසල් පද්ධතියට ඵලදායි ලෙසින් එක් කිරීමට කිසිදු අධ්‍යාපන බලධාරියෙක් හෝ දේශපාලන බලධාරියෙකු හෝ යොමු වී නැත.

අප පාසල් යන අධියේ එවකට හැඳින්වූ පරිදි පළමු වැනි පන්තියේ සිට අතිරේක සාහිත්‍ය පතපොත පරිශීලනයට පාසල් සිසුනට අවස්ථාව ලබා දී තිබිණ.  එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරණතුංග වැනි සම්භාවනීය ලේඛකයන්ගේ පද්‍ය රසය, කව්මිණ, කව්මුතු, හත්පණ, හීන්සැරය, මඟුල් කෑම වැනි කෘති ඉතා කැමැත්තනේ කියවීමු; අධ්‍යයනය කළෙමු; රස වින්දෙමු.

එසේ වුව ද ආණ්ඩුව සහ ප්‍රකාශක සමාගමක් අතර ඇතිවූ හබයකින් අනතුරුව ආණ්ඩුව විසින් පාසල් පොත් ලිවීම ආරම්භ කරනු ලැබීමෙන් අනතුරු ව එවැනි රසවත් සාහිත්‍ය නිර්මාණ හැදෑරීමට පසුකාලීන දරු දැරියනට අවස්ථාව නොලැබී ගියේ පෞද්ගලික අංශය විසින් ප‍්‍රසිද්ධ කරන ලද පාසල් පොත් වෙනුවට රාජ්‍ය අනුග‍්‍රහයෙන් පාසල් පොත් සැපයීමට අවතීර්ණ වීම නිසා ය.  මෙහි දී රජය විසින් සපයන ලද පාසල් පොත් රාජ්‍ය නිලධාරීන් විසින් තම රාකාරි පදනමින් සකස් කරන ලද හෙයින් ඒවා ගුණාත්මක බවෙන් අඩු විය.  පෞද්ගලික ව්‍යවසායකයන් විසින් දක්ෂ, ප‍්‍රවීණ නිර්මාණාත්මක ලේඛකයන් අතින් තරගකාරී අන්දමින් නිර්මාණය කරන ලද භාෂාව හා සහිත්‍ය සඳහා වූ පාසල් පොත් වෙනුවට විවිධ සාහිත්‍ය කෘතින්ගෙන් උපුටාගත් නිරස උද්ධෘත සහිත සාහිත්‍ය පොත් පෙළක් පාසල් පද්ධතියට ඇතුළත් විය.  අතිරේක කියවීම් ඉබේ ම අහෝසි විය.  රජ්‍ය මැදිහත් වීමෙන් සිසුන්ට සිදුවූයේ විභාග සමත් වීම සඳහා තිත්ත කසාය බොන්නා සේ මේ නිරස පාසල් පොත් පරිශීලනය කිරීම ය.

මෙලෙසින් පාසල් පද්ධතියේ වූ සිංහල භාෂාව සහ සාහිත්‍ය පොත් ගුණාත්මක බවෙන් හා රසවත් බවෙන් හීන වෙමින් පවතිද්දී ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා සේ 1971 අප‍්‍රියෙල් මාසයේ ඇති වූ ජනතා විමුක්ති පෙරමුණේ ත‍්‍රාසවාදී නැඟී සිටීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් එවක වූ ආණ්ඩුව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයකට අවතීර්ණ විය.  තත් ත‍්‍රාස ව්‍යාපාරයෙහි කැපී පෙනෙන නායකත්වයක් දෙනු ලැබුයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය.  එයිනුත් කැපීපෙනෙන ලක්ෂණය වූයේ කලා විෂය හැදෑරුවන් එහි ප‍්‍රමුඛත්වය ගැනීම යි.  මෙවැනි විරෝධතාවකට හේතු වූයේ තරුණ අසහනය බව බොහෝ දෙනෙකුගේ මතය විය.  එයට හේතු සොයා බැලීමට පත් කළ විද්වතුන්ගේ මතය වූයේ පැවති අධ්‍යාපන ක‍්‍රමයේ දුබලතා නිසා එය සිදු වූ බව ය.

ත‍්‍රාසවාදයට හේතු වූ සාමාජ ආර්ථික කරුණුවලට පිළියම් යෙදීම කෙසේ වෙතත් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් අවස්ථාවාදීන්ගේ දීර්ඝ කාලීන පටු අවශ්‍යතාවක් ඉටු කරගැනීමට මෙයින් අවස්ථාව සැලසිණි.  කලා විෂයනට මුලිකත්වය දෙන අධ්‍යාපනය වෙනුවට වෘත්තීය අධ්‍යාපනයකට සිසුන් යොමු කළ යුතු යැයි තීරණය විය.  ඒ සඳහා ප‍්‍රාග් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබිණ.

මෙහි දී අඩු පහසුකම් ඇති පාසල් සිසු සිසුවියන් කෘෂි කර්මාන්තය, ගඩොල් කැපීම, පෙදරේරු කර්මාන්තය හෝ වඩු කර්මාන්තය වැනි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වූ අතර පහසුකම් ඇති පාසල් සිසු සිසුවියන් ඉලෙක්ට්‍රොනික්, මොටර් යාන්ත‍්‍රික පුහුණුව වැනි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වූයේ දේශපාලන බලධාරීන්ගේ  දරුවන් විදේශ විශ්විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය දී ය.

මෙසේ ප‍්‍රාග් වෘත්තීය විෂයයන් සඳහා පාසල් කාලසටහනෙහි අවකාශ ලබාගත්තේ එතෙක් මේ රටෙහි අනාගත පරම්පරාව සමාජයට වැඩදායී සංවේදී පුද්ගලන් පිරිසක් බවට පත් කිරීමට ආධාර වූ සාහිත්‍ය සහ ඉතිහාසය විෂයයන් පාසල් නිර්දේශ පත‍්‍රයෙන් අපවත්කර දැමීමෙනි.  මෙය ශ‍්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සිදු වූ අමනෝඥ ම සිදුවීම වන්නේ ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ය.  එනම් මේ තරුණ අසහනයට හේතු සෙවූවන් විසින් ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයයන් පාසල් පද්ධතියෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ මෙවැනි විෂයයන් ඉගැන්වීමෙන් නැවත අසහනයෙන් යුතු තරුණ පිරිසක් ඇතිවිය හැකි බව යි.  20 වැනි සියවසේ කරන ලද ඇස් රතු වන ලොකු ම විහිළුව මෙය වන්නේ ය.

වසර දහස් ගණනක් මුළුල්ලේ මෙරට ජනතාව ශිෂ්ටසම්පන්න ගුණගරුක සංවේදී සමාජයකට හුරු පුරුදු කළ සාහිත්‍ය සමාජ අසහනය ඇති කරන්නක් ලෙස අර්ථ ගැන්වීම සමාව දිය නොහැකි වරදක් වන්නේ ය.  සිංහල සාහිත්‍ය පදනම් වූයේ සකල ලෝකයාට ශාන්තිය උදාකර දුන් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් අඩංගු ත‍්‍රිපිටකය පදනම් කොටගෙන ය.  බුදුදහමින් ඉගැන්වෙන්නේ දයාව අනුකම්පාව මෛත‍්‍රිය වැනි උතුම් මානුෂීය ගුණාංගයන් ය.  එවැනි ඉගැන්වීම් ඇතුළත් සාහිත්‍යයක් අසහනයට හේතුවක් ලෙස සලකා පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් සේ යමෙක් හඳුන්වා දුනහොත් අපට එයට එකඟ වීමට සිදු නො වන්නේ ද?   ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ද සඳහන් කළ යුතු වන්නේ මෙවැනි ම ප‍්‍රකාශයකි.  ලක්දිව ඉතිහාසය වනාහි මහාවිහාරයේ ඉතිහාසයයි; බුදු දහමේ ඉතිහාසයයි;  සදාචාරවත් ජනතාවක් බිහි කිරීම සඳහා භාවිතයට ගත හැකි ඉතිහාසය යි.  එය ද අසහනයට හේතුවක් ලෙසින් ඉවත් කර දැමීම සමාජද්‍රෝහි ක‍්‍රියාවක් ලෙසින් යමෙක් හැඳින්වුවහොත් එයට එකඟ නො වී සිටීමට අපට නොහැකි ය.  මේ තීරණය ගැනීමේදී ප්‍රමුඛත්වය ගත්තේ සිංහල හෝ බෞද්ධ අධ්‍යාපන අමාත්‍යවරයෙක් විසින් නොවේ. අසහන කොමිසමෙහි සභාපති වූයේ සමාජවාදියෙකු ලෙසින් පිළිගැනුණ අන්‍යාගමික මහාචාර්යවරායකි.

ඉන් අනතුරු ව ඇති වූ ආණ්ඩු පෙරළියෙන් අනතුරු ව තත් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වෙනස් වී ප‍්‍රාග් වෘත්තීය අධ්‍යාපනය අහෝසි වී ගිය ද ඒ වෙනුවෙන් අපවත් කර දැමූ සාහිත්‍යය හෝ ඉතිහාසය නැවත වාරයක් පාසල් පද්ධතියට එක් නො විණි.

අප විසින් පූර්වයෙහි සඳහන් කළ පරිදි සාහිත්‍ය සහ ඉතිහාස විෂයයන් සමාජයක සදාචාරය හා සංවේදී බව ඇති කරන අත්‍යවශ්‍ය විෂය වන්නේ ය.  ලෝකයේ දියුණු අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි මේ විෂයයන් අනිවාර්යයෙන් තම සිසු සිසුවියන් සඳහා ඉගැන්වේ.  මේ විෂයයන් හැදෑරීමෙන් තර්කානුකූල ව සිතීමට අවකාශ ලැබෙන්නේ ය; යථාර්ථය ග‍්‍රහණයේ දී මේ විෂය ප‍්‍රමුඛත්වයක් ගන්නේ ය.  එසේ නම් 1971 සිදු වූ ත‍්‍රාසවාදී ව්‍යාපාරයට හේතු සෙවූ එවක ආණ්ඩුව සාහිත්‍ය හා ඉතිහාසය විෂය පාසලෙන් පිටමං කිරීමෙන් බලා පොරොත්තු වන්ට ඇත්තේ යථාර්ථාවබෝධයෙන් තොර ජන සමාජයක් බිහි කිරීම විය යුතු ය. නොඑසේ නම් තමන්ට රිසි පරිදි හැසිර විය හැකි පාලිතයන් පිරිසක් බිහි කරගැනීම විය යුතු ය.

පරමාර්ථය කුමක් වුව ද තත් අමනොඥ ක‍්‍රියාවලියේ අනිසි ප‍්‍රතිඵල අපට ඇස්පනාපිට දශක දෙකක් ගතවන්නට මත්තෙන් දැකගන්නට හැකි විය.  අදාළ පුද්ගලයනට 71 දී සාපරාධි කටයුතු සඳහා තරුණයන් මෙහෙයවා ගැනීමට ඇකි වූයේ සාපේක්ෂ වශයෙන් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි.    එසේ වුව ද 80 දශකයේ ඇති වූ ත‍්‍රාසවාදී කටයුතු සඳහා වෛද්‍ය, ඉන්ජිනේරු, විද්‍යා, වාණිජ විෂයයන් හැදෑරු තරුණ පිරිස ද විෂය විශේෂයකින් තොර ව එක්ව සිටියහ.  එයින් පැහැදිලි වන කරුණ වන්නේ සාහිත්‍ය කලාදී විෂයයන් හැදෑරීමෙන් තරුණයන් අසහනයට පත් බව නො ව විරැකියාව හා සමාජ අසාධාරණය නිසා තරුණ පිරිස් අසහනයට පත් ව සිටි ආකාරය යි.  80 දශකය අවසාන වන විට සෑම ක්ෂේත‍්‍රයක ම තරුණයන් කඩාකප්පල් කාරි ක‍්‍රියාවකට යොදවා ගැනීමට අවස්ථාවාදීන්ට හැකි වූයේ තර්ක බුද්ධියෙන් හීන වූ සංවේදීත්වයෙන් තොර පරම්පරාවක් සමාජයට අවතීර්ණ කිරීමට අධ්‍යාපන ක‍්‍රමයට හැකි වූ බැවිනි.  ජාතියක චින්තනය මොට වූ විට අවස්ථාවාදීන්ට රටක ජනතාව තම හිතුමතයේ මෙහෙය වීමට අවස්ථාව සැලසෙන බව අප මෙහි දී අවබෝධ කටයුතු ය.  මෙය සිංහලයාට පමණක් සීමා වූවක් නො වේ.  ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව ද මුහුණදුන්නේ මේ අවාසනාවන්ත ඉරණමට ය.

ඉංග්‍රීසි අධිරාජ්‍ය පාලන සමයෙහි දී අන්ධානුකරණයෙන් ඉංග්‍රිසිය පසුපස හඹාගිය ස්වදේශිකයන් දුටු ඇතැම් අධිරාජ්‍ය බලධාරීන් විසින් ස්වදේශිකයනට ස්වකීය මෘතෘභාෂාව හා සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලද ආකාරය ඉතිහාසයෙන් අපට දැකගත හැකිය.  එකල එසේ වුවද වර්තමානයේ අවාසනාවන්ත ලෙසින් අප රටෙහි අවස්ථාවාදී දේශපාලනය සියල්ල කණපිට හරවා ඇත.

වර්තමානයේ භාෂාධ්‍යයනය අනිවාර්ය වන්නේ සාමාන්‍ය පෙළ පරීක්ෂණය දක්වා පමණි. ඉන් අනතුරු ව භාෂා අධ්‍යයනය අනවශ්‍ය අංගයක් ව පවති.  කලා මාධ්‍යයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන්නා වූ විද්‍යාර්ථීන් විසින් සිංහල විෂය කෙරෙහි නැඹුරුවක් දැක්වුව ද වර්තමානයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නිසා තත් විෂය කෙරෙහි තිබූ ආකාර්ෂණය ද කෙමෙන් අඩුවෙමින් පවත්නා අතර ඉදිරි අවුරුදු දහය  ඇතුළත විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිංහල හැදෑරීමට ශිෂ්‍යයින් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයක් වනු ඇත.

වර්තමානයේ පවත්නා තත්ත්වය අනුව ජාතික විද්‍යා පීඨයන්හි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් විසින් හදාරනු ලබන සාහිත්‍ය නිර්දේශය ඉතා දුර්වල තත්ත්වයක පවත්නා බැවින් දැනට පාසල් පද්ධතියෙහි සාහිත්‍ය විෂය ඉගැන්වීමෙහි හැකියාව ඇති ගුරුවරුන්ගේ හිඟය අනාගතයෙහි දී සිංහල භාෂාව ඉගැන්වීම උදෙසා ද බලපෑම අවකාශ ඇති විය හැකි බවට අනතුරු අඟවන්නෙමු.

අධ්‍යාපනය සඳහා ඉංගිරිසිය අද අත්‍යවශ්‍ය මාධ්‍යයක් බව අවිවාදිත ය.  එබැවින් ඉංගිරිසි අධ්‍යාපනය නැංවිය යුතු වන්නේ ම ය.  මේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පළමු වසර පටන් ඉංගිරිසි අධ්‍යාපනය අපගේ අධ්‍යපන පද්ධතියට හඳුන්වා දී ඇත.  එසේ වුව ද ඉංගිරිසි අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පුහුණු ගුරු ශ‍්‍රමය ඇත්තේ ඉතා අල්ප වශයෙනි.  මව්බස උගන්වන ගුරුවරුන්ගේ සහයෙන් ඉංගිරිසි ඉගැන්වීමට යාමෙන් සිදුවන්නේ අනර්ථයකි.  එසේ ම ඉංගිරිසි බස ඉගැන්වීම සඳහා භාවිත වන ක‍්‍රමවේදය ද මව්බසෙහි වර්ධනයට මෙන් ම දරුවන්ගේ නිර්මාණාත්මක හැකියා වර්ධනයට හානියකි.  මව්බස ඇතුළු තවත් එක් කාල ඡේදයක් හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවක ම දරුවන් සමග ඉංගිරිසිය භාවිත කිරීමට ගුරුවරුනට උපදෙස් දී ඇත.  පළමු අවුරුද්ද ඇතුළත ඉංගිරිසි වචන 250ක් ශිෂ්‍යයාට හඳුන්වා දිය යුතු ව ඇත.  අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව දරුවකුගේ නිර්මාණාත්මක සක්‍යතාව වර්ධනය වන්නේ ජීවිතයේ මුල් අවුරුදු දොළහ, දහතුන ඇතුළත ය.  මෙහි දී එම සක්‍යතාව ලබා ගන්නා මාධ්‍ය වන්නේ මව්බස ය.  මෙවන් තත්ත්වයක් යටතේ මව්බස වර්ධනය වීමට ඇති අවකාශය අඩු වන්නේ ය.  එයින් සිදු වන්නේ සිසුන්ගේ නිර්මාණ හැකියාව හීන වීම ය.  නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නියාමක ව්‍යාපෘතියක් ලෙසින් මෙය ක‍්‍රියත්මක වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ නිර්මාණ හැකියාව අදාළ කාල වකවානුව ඇතුළත සියයට හතළිහකින් අඩු ව ඇති බවක් යුනෙස්කෝ සංවිධානය හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් කරන ලද විමර්ශනයක දී හෙළි ව ඇති බව පුවත්පත් වාර්තාවක සඳහන් ව තිබිණ.  මේ අනුව සලකන විට වර්තමානයේ ක‍්‍රියාත්මක වෙමින් පවත්නා මව්බස හා දෙවන බස ඉගැන්වීමේ ක‍්‍රියාවලිය අහිතකර අන්දමින් අනාගත පරම්පරාවට නොබලපාන්නේ යැයි අදාළ බලධාරීන්ට දිය හැකි සහතිකයක් වේ ද?  එහෙයින් සිංහලය පමණක් නො ව මුළු ජාතියම ව්‍යසනයට පත්වන තත්ත්වයක් උද්ගත වෙමින් පවත්නේ යැයි උපකල්පනය කිරීම සාවද්‍ය වන්නේ ද?

ලෝකයේ ඉතාම දියුණු ආර්ථිකයක් හා තාක්ෂණික දියුණුවක් හිමි ජපානයේ ඉංගිරිසි අධ්‍යාපනය ආරම්භ වන්නේ පස්වැනි ශ්‍රේණියෙන් අනතුරුව ය.  සැබවින්ම මාතෘ භාෂාව රැකගනිමින් දෙවැනි බස වර්ධනය කරගැනීමට ඉන් අවකාශ සැලසෙන්නේ ය.  දියුණු රටවල සාර්ථක වූ අධ්‍යාපන ක‍්‍රමවේදයන් මගින් මෙරට අධ්‍යාපනයෙහි දුර්වලතා මග හරවා නොගතහොත නුදුරු අනාගතයේ දීම සිංහලය නැතිවයනවාට කිසිදු සැකයෙක් නැත.  අධ්‍යපනයෙහි පවත්නා දැඩි තරගකාරි ස්වභාවය නිසා ඉංගිරිසි මාධ්‍ය මගින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාග සඳහා අවකාශ සලසා දීම මේ තත්ත්වය වඩාත් උග‍්‍ර කරවන බව ද අකමැත්තෙන් වුව ද සඳහන් කිරීමට සිදු ව ඇත.

අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ භාෂා සාහිත්‍ය පරිහානිය මෙසේ පවතිද්දී අවිලෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන් සිංහල භාෂාව විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයට වර්තමානයේ ඇතැම් ජන මාධ්‍යයන් ද මහා පරිමාණයෙන් දායක වෙමින් සිටියි.  යටත් විජිත පාලන සමයේ පරාධීනත්වයෙන් ලක්වැසියන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ ප‍්‍රධාන බලවේගයක් වූයේ එදා පැවති එකම ප‍්‍රබල ජනමාධ්‍යය වූ පුවත්පත යි.  අතීතයෙහි වූ සිංහල පුවත්පත් කතුවරු මෙන් ම ඒවායේ හිමිකරුවෝ ද නිවැරදි ප‍්‍රශස්ත භාෂා මාධ්‍යයක් මගින් සන්නිවේදන කටයුතු කිරීමට ඇපකැප ව ක‍්‍රියා කළහ.  අප කුඩා අවධියේ සිංහල භාෂාව ප‍්‍රශස්ත ව ඉගෙනීම සඳහා දිණමිණ පුවත්පතෙහි කර්තෘවාක්‍ය කියවන ලෙස අපගේ ආචාර්යවරු අපට උපදෙස් දුන්හ.  ඒ පුවත්පත් කෙරෙහි වූ විශ්වාසය නිසා ය;  එහි නිවැරදි බස් වහර නිසා ය.  වර්තමානයේ විශ්වාසය බිඳී ගොසිනි;  බස් වහර ද කිව නොහැකි අන්දමින් පිරිහීමට පත් වෙමින් පවත්නා නිසා බස සකස් කරගැනීම සඳහා පුවත්වත් කියවන්නැයි සිසුන්ට උපදෙස් දීමට ද අද ගුරුවරුන්ට හැකියාවක් නැත.

වර්තමානයේ පුවත්පත් භාෂාව ද සමස්ත පිරිහීමේ අඳුරු සෙවනැලි අතර සැඟවෙමින් ඇති බව අකමැත්තෙන් වුව ද සඳහන් කළ මනා ය. භාෂා පරිණාමය පිළිබඳ ඉතා සරල කරුණු පවා තේරුම් ගැනීමට නොහැකි පුවත්පත් කතුවරුන් පවා අද දැකිය හැකි ය.  සුඛෝච්චාරණය නිසා භාෂාවේ වචන සරල වේ. කෙටි වේ.  එසේ වුව ද මේ නියාමය නොදන්නා ලේඛකයෝ කෙටි වදන් දික් කරගනිති.  අර්ථය ද විකෘති කරගනිති.  සරල උදාහරණයක් ලෙසින් නිසා යන්න නිසාවෙන් ලෙසින් විකෘති අර්ථයක් සහිත ව භාවිත කරයි.  පුරා යන්න පුරාවට ලෙසින් යොදයි.  මෙවැනි අප වචන සිංහල භාෂාවට ඇතුළත් වන්නට පටන් ගෙන ඇත්තේ විද්‍යුත් ජන මාධ්‍ය ප‍්‍රචලිත වීමෙන් අනතුරු ව ය.  ඇතැම් පුවත්පත් සමාජයේ අවලම් වැඩ කරන වුන් හඳුන්වන්නේ සුද්දෝදනලා නමින් ය.  අප සාහිත්‍යයේ සුද්ධෝදන නමින් හැඳින්වෙන්නේ සිදුහත් කුමරුන්ගේ පියාණන් පමණි.  එවන් ගෞරවණීය නාමයක් ආහාසාත්මක ව යෙදීමට තරම් පහත් තත්ත්වයකට ඇතැම් ජන මාධ්‍ය පත් ව ඇත. පට්ට යන යෙදුම භාවිත වූයේ පටටපල් බොරු වැනි අංසස්කෘතික යමක් හැඳින්වීමට හෝ පට්ට වේසී වැනි නිග්‍රහාත්මක යෙදුම් සමගය.  අද ජනමාධ්‍යයට පෙම්වතියද පට්ට ය.

විද්යුත් ජන මාධ්‍ය රාජ්‍ය සතු ව තිබූ අවධියෙහි මාධ්‍යය සදාචාරයයකින් යුක්ත ව, බස රකිමින් සංනිවේදනයෙහි යෙදුණ ද පෞද්ගලික ජන මාධ්‍ය ඇති වීමෙන් අනතුරු ව අපගේ භාෂාව සමගින් රටෙහි සදාචාරය ද නාය යාමට පටන් ගෙන ඇත්තේ ය.

යහපත් වූ සාහිත්‍යයක් සේවනය සඳහා අවශ්‍ය මග පෙන්වීම පාසල් පද්ධතියන් අපවත් ව ගිය පසු සමාජයට පිවිසි මාධ්‍යකරුවා ද මංමුලා වූවෙක් විය.  විශේෂයෙන් ම පෞද්ගලික ජන මාධ්‍ය ජනප‍්‍රියත්වය හඹා යාමේ දී අතිශයින් ම ගුණාත්වක බවින් හීන වැඩසටහන් දෝරේ ගලායමින් පවති.  බොහෝ විද්යුත් මාධ්‍යයන්හි සංනිවේදකයින්ට තම සන්නිවේදක කටයුතු සඳහා අවශ්‍ය භාෂා දැනුම ඇත්තේ ම නැති තරම් ය.  ඒ වෙනුවට ඔවුනට ඇත්තේ කිසි ම හිරිකිතයක් නැති වාචාලකම පමණි.  අද බොහෝ විද්යුත් ජන මාධ්‍ය භාෂා පාළුවන්ගේ තෝතැන්නනක් ව පවතී.  ඔවුහු තමනට රිසි පරිදි බස නසති.  ‍ෙදාඩමලූ වීමෙහි විපාක වශයෙන් එළු බෙටි නැළියක් ගිල දැමූ බමුණාගේ වග නොදත් පැරණි සාහිත්‍ය හදාරා නැති මොවුහු සෑම විට දොඩමලූ වෙති;  තම අසන්නන්ට ද දොඩමලූ වෙන්නට ආරාධනය කරති;  විටෙක තමන්ගේ රූපවාහිනී මැදිරියට පැමිණි ආරාධිතයාට අපි ඔබගේ  ඕපාදූප කථා කරමු යැයි නිග‍්‍රහ කරති.

වර්තමානයේ ඇතැම් ජන මාධ්‍යයන්හි නිවේදකයෝ සිංහල බස අදහස් ප‍්‍රකාශනයෙහි ප‍්‍රමාණවත් නොමැති යැයි සිතා හෝ නැතහොත් සිංහලය පිළිබඳ වූ තම අපරිණත බව නිසා හෝ ඉංගිරිසි වදන් ද භාවිත කරමින් සන්නිවේදනයේ යෙදෙත්.  මාධ්‍ය විශේෂඥයන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් මෙම භාෂානාශකයන්ට අගයමින් කථා කරනු අසා ඇත්තෙමි.  වරෙක රූපවාහිනියෙක අධිපතිත්වය දැරූ සිංහල භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නුගේගොඩ විජේරාම හන්දියේ තිබූ සපත්තු වෙළඳ සැලක සිංහල බස නැසූ නාම පුවරුවක් ආදර්ශයට ගෙන ඒ අනුව තම වැඩසටහන්  නවීකරණයට උපදෙස් දුන් බවක් ද අසා ඇත්තෙමු.  මෙයින් සිදුවන්නේ සිංහලයත් ඉංගිරිසියත් දෙක ම නැති වීම ය.

නුතන සන්නිවේදන මාධ්‍ය ඉතා ප‍්‍රබල ය.  යහපත් ආකාරයෙන් භාවිත කළහොත් එයින් දේශයට ශාන්තියක් උදාකර ගත හැකි ය.  එසේ වුව ද තරගකාරි බවින් යුක්ත ව අද ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය   වඳුරන් අතට දුන් දැලිපිහි මෙන් ව්‍යසනය ම ළඟා කරවමින් ඇති බව නොකියා සිටිය නොහැකි ය.  පාසලෙහි ගුරුවරයා විසින් කෙතරම් නිවැදි සිංහල ඉගැන් වුව ද ජනමාධ්‍ය කරුවන් විසින් භාවිත කරනු ලබන අපභාෂණ හා ප‍්‍රදර්ශනය කරන සාවද්‍ය පාඨ නිසාත් අවම වශයෙන් අක්ෂර වින්‍යාසය පවා නිවරදි ව පවත්වා ගෙන යාම අසීරු වී ඇත.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු ව ඇත්තේ අපගේ අධ්‍යාපන ක‍්‍රමයේ ක‍්‍රියාත්මක වෙමින් පවත්නා භාෂා සාහිත්‍ය නාශනයට තුඩු දී ඇති ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේ අවසන් හෝරාවට අප ළංව ඇති බව යි.  ජාතික ප‍්‍රතිපත්තියක් යටතේ ජන මාධ්‍ය හැසිර විය යුතු බව කිව යුත්තක් නො වන තරමට පිරිහි ගොසිනි. එබැවින් වගකිව යුත්තන්ගේ අවධානය මේ කෙරෙහි වහා යොමු නො වුන හොත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නො වනු ඇත.  එබැවින් අතීතයේ අප රජ දරුවන් භාෂා සාහිත්‍ය කෙරෙහි දැක්වූ අවධානයට සමාන ආකාරයේ අවධානයක් ආණ්ඩුව විසින් දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ ය.  ඒ විනා රාජ්‍ය අනුග‍්‍රහයෙන් වර්ෂයක් පාසා පවත්වන සාහිත්‍ය සල්පිල් හෝ සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නැති දේශපාලකයන් ලවා සාහිත්‍ය දේශන පැවැත්වීමෙන් මේ ව්‍යසනයෙන් ගැලවීමට නොහැකි බව අවධාරණය කරසිටීමට කැමැත්තෙමු.

 

This entry was posted in කාලීන සංවාද. Bookmark the permalink.

Leave a Reply